(කොළඹ, ලංකාපුවත්) – සුසන්තිකා ජයසිංහ මහත්මිය නඟන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
පසුගිය රජය සමයේ සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත සම්බන්ධිකරණ තනතුරක් ලබා දී තිබු බවත් ඇය ලබාගත් කීර්තියේ ගෞරවය රැකෙන පරිදි ඇය වෙත ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශක තනතුරකට පත් කිරීමට තමා කටයුතු සලසා ඊට සරිලන ලෙස වැටුපක් ලබාදීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පවසයි.
ඇමතිවරයා කියා සිටියේ“සුසන්තිකා ජයසිංහ නඟන චෝදනා මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.නිකම්ම නිකං සම්බන්ධීකරණ ලේකම් වෙනුවට ඇයට ගෞරවනීය සේවයක් ලබාදිය හැකි අයුරින් තනතුරක් සකසා ගැනීමට අප කැබිනට් පත්‍රයක් පවා යොමු කළා. ඊට අදාළව රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයෙකුට ලැබෙන ඉහළම වැටුප වන රුපියල් 60,000ක වැටුපක් 2020 වනතුරු ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවුනා. ඒ සඳහා ඇයට කාර්යභාරයකුත් හිමිවුණා.”
මළල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති ධාවන ශුර සුගත් තිලකරත්න සහ සුසන්තිකා ජයසිංහ කැඳවා ලංකාවේ ඒවන විට සකසා තිබූ මළල ක්‍රීඩාං සංචිත 3 භාරගන්නා ලෙසට වගකීමක් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉඩකඩ සීමිත හේතුවෙන් ක්‍රීඩා වෛද්‍යායතනයෙන් ඇයට කාර්යාල පහසුකමුත් සකසා දුන් බව ද ප්‍රකාශ කළේය.
“පසුගියදා තිබූ සම්මාන උළෙලකදි ඇය කියනු ලැබුවා ඇයට රජයෙන් කිසිවක් නොකළ බව. වරක් ඇයට දියතලාවේදී උණ රෝගය වැළදී තිබූ වෙලාවක කොළඹ සිට හෙලිකොප්ටරයක් යවා ඇයව කොළඹට ගෙන්වා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකීරීමටත් අප කටයුතු කරනු ලැබුවා. තවත් වරක් ඇය ඇකඩමියක් සකසන බව පවසා පදනම් ආයතනයේ රැස්වීමක් පැවැත්වූ අවස්ථාවක ජනාධිපතිතුමත් මමත් එයට සහභාගී වුණා. එහිදී අප රජය විසින් ඇයට රුපියල් ලක්ෂ 10ක මුදලක් ප්රදානය කරනු ලැබුවා. ” ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා සුසන්තිකා ජයසිංහ වෙත ලබාදුන් පහසුකම් පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.