ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් ගෙන එනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට මේ වසර අවසන් වන විට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

නව ප‍්‍රතිපත්තිය යටතේ කිසිදු පාසලක ගුරු අතිරික්තයක් තිබිය නොහැකි අතර, අතිරික්ත සියලු ගුරුවරු ගුරු පුරප්පාඩු පවතින පාසල් වෙත ස්ථාන මාරුවීම් ලැබිය යුතු බවට චක‍්‍රලේඛයක් ද නිකුත් කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවයට අද (22) පෙරවරුවේ එක් වෙමිනි.

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙම තීරණයට එළැඹි බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා රටේ කිසිදු දරුවෙකුට අධ්‍යාපන වරප‍්‍රසාද අහිමිවිය නොහැකි බව ද අවධාරණය කළේය.

රටේ සෑම ජන කොටසකගේම ප‍්‍රශ්න විසඳීමත්, ඡන්දය දුන් නුදුන් සැමට එක ලෙස සේවය කිරීමත් ජනාධිපතිවරයා ලෙස තම වගකීම බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

අද පෙරවරුවේ සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පංති කාමර 05 කින් සමන්විත නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් වැඩසටහන යටතේ මෙම පාසල සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන අතර ශී‍්‍ර ලංකා යුද හමුදාව ඉදිකිරීම් සඳහා දායකත්වය දක්වා තිබේ.

උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශී‍්‍ර නිලන්ත පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *