(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණය කරමින් පෙළපාළියකින් ගමන් ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ගේට්ටු කඩාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට කඩාවැදී රාජ්‍ය දේපළවලට විශාල හානියක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
මෙම පිරිස සිදුකරන දේපළ විනාශය වැළැක්වීම සඳහා පොලීසිය, කැරලි මර්දන ඒකකය හා විශේෂ කාර්යය බළකාය කැඳවා තිබූ අතර ඒ වන විටත් ගොඩනැගිල්ලට සහ එහි නවතා තිබූ යාන වාහන රැසකට මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් හානි සිදුකර තිබූ බව ද පොලීසිය සදහන් කළේය.
මෙම දේපළ හානි තවදුරටත් වළක්වා ගැනීම පිණිස පොලීසිය කැරලි මර්දන ඒකකයට හා විශේෂ කාර්යය බළකායට බැටන් පොලු ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ අතර ඒ තුළින් 84 දෙනකු තුවාල ලබා ඇත.
මෙම ශිෂ්‍ය ක්‍රියාකාරින් මුලින්ම ජනාධිපති කාර්යාලය දක්වා පා ගමනින් යාමට සැලසුම් කර තිබූ අතර කොටුව පොලිසිය විසින් එය වළක්වාලීමට අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබූ අතර පොලිසිය නොමග යවමින් මොවුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පා ගමන ආරම්භ කර හිටි හැටියේ ගමන් මාර්ගය වෙනස් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට කඩා වැදී තිබේ. අමාත්‍යාංශය තුළට ඇතුළු වූ කලහකාරී පිරිස් නිසා එහි වැඩ කටයුතු සියල්ලක්ම අඩපන වී තිබිණි. මෙම සිසුන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දැන්වීම් සහ බැනර් ගිනි තබා ඇති බව වාර්තා වන අතර සයිටම් ආයතනයට එරෙහි දැන්වීම් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නියැළී ඇත.
බැටන් ප්‍රහාර එල්ලකරමින් අමාත්‍යාංශ ගොඩනැඟිල්ල වටලා රැදී සිටි සියලුම සිසුන් පළවා හැරීමට කටයුතු කළ පොලිසිය හා කැරලි මර්දන ඒකකය ජල ප්‍රහාර එල්ල කර සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ රැඳී සිටිමින් උද්ඝෝෂණය කළ සිසුන් ද පළවා හැරියේය.
මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධාන කර තිබු විරෝධතා පාගමන කොළඹ පුරහල අසලින් ආරම්භ කර සෞඛ්‍ය අමාත්‍යාංශය දෙසට ගමන් කළ අතර අමාත්‍යාංශයේ ගේට්ටු කඩා දමමින් පොලිස් මාර්ග බාධක ද බිඳ හෙළමින් සිසුන් අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වුහ. මෙම සිසුන් අමාත්‍යාංශයේ ලේකම්වරයකු සමඟ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමේ දී ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ සිසුන් හා පොලිස් නිලධාරින් 85ක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
තුවාල ලැබූ අසූපස් දෙනාගෙන් හය දෙනකු පොලිස් නිලධාරීන් බවත් ඉතිරි 79 දෙනා විශ්වවිද්‍යාල සිසුන් බවත් ඒ මහතා පැවැසුවේය.
රෝහලට ඇතුළත් කළ පොලිස් නිලධාරින් හය දෙනාගෙන් එක් නිලධාරියකුට වැළඳුණු හෘද රෝග තත්ත්වයක් නිසා ඔහු සැත්කමකට ලක් කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.
සෙසු පොලිස් නිලධාරින් සහ විශ්වවිද්‍යාල සිසුන් සුළු හා මධ්‍යම තුවාල ලබා ඇති බවත් කිසිවකුටත් බරපතළ තුවාල නොමැති බවත් වෛද්‍ය ජාසිංහ මහතා පැවැසීය.