(කොළඹ, ලංකාපුවත්) – තමරට ආර්ථික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට එරෙහිව අසල්වැසි රටවලට එරෙහිව වන්දි ඉල්ලා සිටින බව කටාර් බලධාරීහු කියා සිටිති.
කටාර් රාජ්‍යය ත්රස්තවාදයට අනුග්‍රහ දක්වන බව පවසමින් සෞදි අරාබිය, එක්සත් එමීරය,බහරේන් සහ ඊජිප්තුව යන අසල්වැසි රාජ්‍යයන් එරට සමඟ ගුවන් සහ නාවික සබඳතා අත්හිටවන ලද අතර එමගින් තමන් ආර්ථික වශයෙන් හුදෙකලා කරන ලද බවට ‘ඩෝහා’ පාලනය චෝදනා කරයි.
ත්රස්තවාදයට උපකාර කරන බවට එල්ල කෙරෙන චෝදනා කටාරය විසින් දැඩිව බැහැර කරනු ලැබ ඇත. කෙසේ වුවද, ඉහත කී ආර්ථික සම්බාධක හේතුවෙන් සියරටේ ව්‍යාපාරික සමාගම්වලට සහ පෞද්ගලික මට්ටමින් පුරවැසියන්ට අත් වූ පාඩුව සහ අලාභය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ‘ඩෝහා’ බලධාරීන් විසින් කමිටුවක් පත් කරන ලද බවක්ද වාර්තා වේ.
අසල්වැසි රටවල් ගුවන් සම්බාධක පැනවීම නිසා කටාර් ජාතික ගුවන් සේවයට විකල්ප ගුවන් මාර්ග ඔස්සේ පියාසර කිරීමට සිදු වූ අතර එමගින් අත්වූ පාඩුවත් ඉහත කී වන්දි ඉල්ලීම්වලට ඇතුළත් කිරීමට ඉඩකඩ ඇත.
අසල්වැසි රටවල් කටාරයට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කළ අතර කටාරය ඊට එකඟ නොවීමෙන් අනතුරුව ඉහත කී ගුවන් සහ නාවික සම්බාධක පනවනු ලැබුණි.
එසේම එරටට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීමට ඉඩකඩ ඇති බවට එකී රටවල් විසින් අනතුරු අඟවනු ලැබ තිබුණි.
පනවා ඇති කොන්දේසි අතර අල්ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම සහ ඉරානය සමඟ පවතින සබඳතා අඩු කිරීමත් විය.
තමන්ට ඉදිරිපත් කර ඇත්තේ “ක්‍රියාවට නැංවිය නොහැකි” කොන්දේසි මාලාවක් බව කටාර් රාජ්‍යය පවසයි.
කටාර් සහ අරාබි රටවල් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩපැවැත්වීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස සියලු රටවලින් ඉල්ලා සිටියේය.