(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අද(22) උදෑසන මතුව තිබූ අර්බුදකාරී තත්ත්වය සමතයකට පත්ව තිබේ. මේ වන විට සාමාන්‍ය පරිදි දේවාලය බැතිමතුන් සඳහා විවෘත කර ඇත.
රුහුණු කතරගම දේවාලයේ අලුයම පූජාව අද නොපැවැත්වුණි.
ඒ, යතුරක් මුල්කරගත් ගැටුමක් හේතුවෙනි. දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී.කුමාරගේ මහතා පවසන්නේ දේවාලය විවෘත කිරීමට ගියද, එහි යතුර නොතිබූ බවය.
පසුව යතුරක් ගෙන එය විවෘත කිරීමට සූදානම් වන අවස්ථාවේ ලාල් රාජපක්ෂ නමැති කපු මහතෙකු පැමිණ තමාට බැණ වැදුන බව ද කුමාරයේ මහතා පැවසීය. එහෙත් ලාල් රාජපක්ෂ කපු මහතා පවසන්නේ උදෑසන 4.30 පූජාව සඳහා දේවාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ බස්නායක නිළමේවරයාගේ මැර පිරිසක් සහ පුත්‍රය පැමිණ යතුර බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.
බැතිමතුන් විශාල පිරිසක් පූජාවට එක්ව සිටිය ද මේ ගැටුමෙන් ඔවුන්ට ඒ අවස්ථාව අහිමි විය.
කෙසේ වෙතත් බස්නායක නිළමේවරයා උදෑසන 6.30ට පමණ යතුර කපු මහත්වරුන් වෙත බාරදුන් පසු බැතිමතුන්ට පුද – පූජා තැබීමේ අවස්ථාව හිමි ව ඇත.