2018 අවසන් වන විට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 2000 ක් දක්වා වැඩි කිරීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ජාතික රෝහලේ යන්ත්‍ර 04 කින් යුත් රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 30 ක් ඇති අතර, වසරක දී රුධිර කාන්දුපෙරණ අවස්ථා 15,000 ක් සිදු කරයි. ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබන්ධ මාලිගාවත්ත වකුගඩු රුධිර කාන්දුපෙරණ ජාතික මධ්‍යස්ථානය ද වසරක දී කාන්දුපෙරණ අවස්ථා 15,000 ක් සිදු කරයි. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු ප්‍රථම රෝගියා ඇතුලත් කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.

මෙම උත්සවය අමතා අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“වත්මන් රජය බලයට පත්වීමට ප්‍රථම රුධිර කාන්දුකරණයට දැඩි තදබදයක් තිබුනා. හදුනා නොගත් වකුගඩු රෝගය හේකුවෙන් ගැටලු රැසක් මතුව තිබුනා 2015 ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණ වේදිකාවේ ද සෞඛ්‍ය පුශ්ණ සාකච්ඡා කෙරුණා. දේශපාලන වේදිකාවක කථා කරන්නේ බඩු මිල අඩු කිරිම, රැකියා ලබාදීම වැනි කරුණු පිළිබදවයි. නමුත් අපි කථා කළේ මිනිසුන් හදන හැටි පිළීබදවයි. වකුගඩු ප්‍රශ්ණය විසදීම සදහා විසදුම් රැසක් සාකචිඡා කර තිබෙනවා.

වත්මන් රජය බලයට පත්වන විට දිවයින පුරා රෝහල්වල රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර තිබුනේ 159 ක් පමණයි. අද වනවිට එය 450 දක්වා වැඩි වී තිබෙනවා. 2018 අවසන් වන විට යන්ත්‍ර සංඛ්‍යාව 1000 ඉක්මවීමටයි අපි බලාපොරොත්තු වන්නේ. ඉන්දියනු සමාගමක් විසින් ද රුධිර කාන්දු පෙරණ යන්ත්‍ර 900 ක් ශ්‍රී ලංකාවට ගෙනවිත් කාන්දුපෙරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබද සාකච්ඡා සාර්ථක වුවහොත් තවත් යන්ත්‍ර 900 ක් මගින් රෝගී ජිවිත ආරක්ෂා කර ගන්න පුලුවන්.

භෞතික සම්පත් ලබාදුන්නත් මානව සම්පත් ලබාදීම පිළිබද ගැටලුවක් තිබෙනවා. මානව සම්පත පිළිබද අද දින තීන්දුවක් ගතහොත් එහි ප්‍රථිඵල ලැබෙන්නේ වසර 03 කට පසුවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ද වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. වයඹ, සබරගමුව සහ මොරටුව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා. සිසුන්ට අවශ්‍ය නේවාසිකාගාරත් හදනවා. නමුත් විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ අධ්‍යාපනය පුද්ගලීකරණය කරනවා කියලයි. එය සටන් පාඨයක් විතරයි. නව වැඩපිළීවෙලක් ඔස්සේ අධ්‍යාපනය සංවර්ධනය කරනවා.

රට තුල අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කළේ වත්මන් රජය යටතේයි. රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානවලට අවශ්‍ය හෙද හෙදියන්ගේ ගැටලුව මගහැරවීම සදහා හෙද සහායිකාවන් පත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. හෙද සංගම් සමග සාකච්ඡා කර හෙද හෙදියන්ගේ අධීක්ෂණය යටතේ වසරක පුහුණුවකින් පසු හෙද සහායිකාවන් පත් කළ යුතු බවයි එම යෝජනාවේ දැක්වෙන්නේ. ඒ පිළිබදව ඉදිරියේ දී සාකච්ඡා කරනවා. දැනට රෝහල්වල හෙද හෙදියන් 31,000 ක් රාජකාරී කරනවා. අනුමත කාර්ය මණ්ඩල ලේඛණයට අනුව තවත් හෙද හෙදියන් 6000 ක් අවශ්‍යයයි. ඉදිරියේ දී මෙම සංඛ්‍යාව තවත් වැඩිවෙනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුලු මහාචාර්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *