ජනපතිගෙන් පාකිස්තාන ආයෝජකයින්ට ආරාධනාවක්

(කොළඹ, ලංකාපුවත්) – දෙරට අතර ද්වී පාර්ශ්වික දේශපාලන සාකච්ඡා සමුළුවේ 05 වන වටයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්ථාන විදේශ ලේකම් Tehmina Janjua මහත්මිය ඊයේ(17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

පකිස්ථානයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයක් විවෘත කිරීමට ද මෙම ශ්‍රී ලංකා සංචාරය තුළදී පකිස්ථාන විදේශ අමාත්‍යවරිය එක්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම්, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හස්මාට් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සීනි සහ සිමෙන්ති කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ආයෝජන සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාකිස්තාන ආයෝජකයින්ට එහිදී ආරාධනා කර තිබේ.

එහිදී ජනාධිපතිතුමා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදි.

මෙහිදී අදහස් දැක්වූ පාකිස්තාන විදේශ ලේකම්වරිය සඳහන් කළේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන්ට පෙනී සිටීමට ලැබුණු අවස්ථාව සම්බන්ධයෙන් සතුටට පත්වන බවය. ශ්‍රී ලංකායේ සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය ඉහළ දැමීමට පාකිස්තානයට දියහැකි සෑම සහායක්ම ලබාදෙන බව පාකිස්තාන විදේශ ලේකම්වරිය වැඩිදුරටත් සදහන් කළාය.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ මීළඟ රාජ්‍ය නායක සමුළුව පාකිස්තානයේ පැවැත්වීමට ශ්‍රී ලංකාවට දියහැකි සහාය ලබාදෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *