ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණයට ඉන්දියාවේ පුර්ණ සහාය

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය වර්ධනය කිරීමට හා නව ප්‍රවණතාවන් හඳුනාගැනීමට ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව ඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා පවසයි.

අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා මේ බව පැවසුවේ ඊයේ(15) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේදීය.

දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවරදී ඇරඹුණු “යුමන්ග්” හෙවත් නව යුගයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඒකාබද්ධ ජංගම දුරකථන යෙදවුම (UMANG – Unified Mobile Application for New-age Governance) දැන් අති සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍ය රවි ශංකර් මහතා කියා සිටියේය.

ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් තොරතුරු තාක්‍ෂණවේදය සඳහා සහය ලබා ගැනීම පිළිබඳව ඉන්දියාව සමග සාකච්ඡා ඇරඹිමට අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.

පාසැල් විෂය මාලාවට තාක්‍ෂණය හඳුන්වාදීමට ක්‍රියා කළ ලෝක නායකයින් අතරට වික්‍රමසිංහ මහතාද ගැනෙන බව රවි ශංකර් ප්‍රසාද් මහතා අවධාරණය කළේය.

සියළු පාසැල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩ පිළිවෙල පිළිබඳව මෙහිදී වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

සයිබර් ආරක්‍ෂණය සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. දැනට සිංගප්පූරුව සමග මේ සමග සාකච්ඡා කරන බවද, ඒ සඳහා ඉන්දීය සහය අපේක්‍ෂා කරන බවද සාකච්ඡාවට එක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E. Taranjit Singh Sandhu) යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *