බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති

(කොළඹ, ලංකාපුවත්) – හස්තියෙකුට ආහාර ලබාදීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල්ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබේ.

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හස්තියෙකුට ආහාර ලබාදීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් ඊයේ (02) රෝහල් ගත කර තිබිණි.

විමලරතන හිමියන් ඊයේ පෙරවරුවේ විහාරස්ථානයේ මියන්කුමාර නැමති හස්තියාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබුණි.

විහාරස්ථානයේ ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී ඊයේ සිදු වූ අනතුරකින් උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යැවුණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර උන්වහන්සේ අද අපවත් විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හොබවමින් සිටි උන්වහන්සේ අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් මෙහෙවරක නිරත වූ හිමිනමකි.

බෞද්ධ දර්ශනය තුළින් සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා නිරන්තරයෙන් කැප වූ උන්වහන්සේ ශාසනික වශයෙන් ද විශාල මෙහෙයක නිරත වුණා. කෝට්ටේ කළ්‍යණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරය ද උන්වහන්සේ හෙබවූවාය.

ආදාහන කමිටුව අද(03) රාත්‍රී 7ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *