ශ්‍රී දේවිගේ දේහය ඥාතීන්වෙත

(කොළඹ, ලංකාපුවත්) – සුපිරි නිලි ශ්‍රී දේවි කපූර්ගේ දේහය ඥාතීන් වෙත ඊයේ(27) භාර දී තිබේ.

ඒ අනුව විමර්ශන කටයුතු අවසන් බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් මුම්බායි පොලීසිය මේ සම්බන්ධයෙන් වෙනමම පරික්‍ෂණයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඩුබායිහි පැවති ඥාතියෙකුගේ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගීව සිටි ශ්‍රීදේවි මරණයට පත්වූයේ පසුගිය සෙනසුරාදාය.

මින් පෙර වාර්තා වුණේ ඇයගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවය. කෙසේ වෙතත් පසුව පැවති මරණ පරික්‍ෂණයෙන් පසු අධිකරණ වාර්තාව මගින් හෙළිකර තිබුණේ එය ඇය රැඳී සිටි හෝටලයේ නානකාමරයේ ජලය පුරවා තිබූ බේසමකට වැටී සිදු වූ මරණයක් බවය. පැවති සැක සහිත තත්ත්වය හේතුවෙන් ඩුබායි බලධාරීන් ශ්‍රීදේවිගේ දේහය ඥාතීන් වෙත භාර දීම ප්‍රමාද කර තිබුණි.

ශ්‍රී දේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම සඳහා ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්බානි තම පෞද්ගලික ගුවන් යානයක් ඩුබායි වෙත යවා තිබුණේ ද ප්‍රමාදයකින් තොරව දේහය සිය රටට රැගෙන ඒම සදහාය.

ශ්‍රීදේවිගේ මිය යාමත් සමග ඇගේ රසිකයින් සේම සිනමා ලොවේ ඇය සමග එකට කටයුතු කළ සිනමා තරු රැසක් සිය ශෝකය පළ කරන්නට විවිධ දෑ සිදුකරන අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

එමෙන්ම ඇය ජීවත් වූ නිවස අසල ද ජනතාව එක්රැස් වී තමන් පෙම් බැදි සිනමා තාරකාවට පහන් දල්වමින් සිය සොව පළ කරන අයුරු දැකගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *