ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(24) යළි විවෘත වරෙන්තු නිකුත් කළේය.

අමෙරිකා ඩොලර් තුන්ලක්‍ෂ තිස්දහසක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙසේ විවෘත වරෙන්තු නිකුත් කරන ලදි.

මීට අමතරව ජාලිය වික්‍රමසූරිය මහතාගේ ඇපකරුවන් ලෙස ඉදිරිපත්ව සිටින දැනට අධිකරණය මගහැර සිටින ඔහුගේ බිරිඳ සහ ඥාති සොයුරිය අත්අඩංගුවට ගැනීම සඳහා ද මහේස්ත්‍රාත්වරිය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත මැයි මස 14 වනදා කැඳවීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *