ජනතා විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට යා යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රජය යන වේගය මදි, දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන්නැයි ජනතාව පෙබරවාරි මාසයේ පණිවුඩයක් දුන් බවත් එම නිසා ජනතාවගේ විශ්වාසය දිනාගනමින් අපට ඉදිරියට යාමට තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මෙහිදී අපට ප්‍රේමදාස ජනාධිපතිතුමා උදාහරණයක් හැටියට ගත හැකියි. මට එතුමා සමීපව ඇසුරු කරන්නට ලැබුණා. එතුමා මිය ගිය අවස්ථාවට මොහොතකට පෙරත් අවසාන වතාවට මට කතා කරන්නට අවස්ථාව ලැබුණා. එතුමා අහිමිවීම අපට විශාල පාඩුවක් බව කිව යුතුයි. අපේ ප්‍රශ්න විසදා ගැනීමේදී ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් උගත් පාඩම් ආදර්ශයට ගනිමින් ඉදිරියට යාමට අපි කටයුතු කළ යුතුයි.“ අගමැතිවරයා කියා සිටියේ දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ 25 වන ගුණ සමරු උත්සවයට අද(01) එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්මින් අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.

“ගමට රැකියා අවශ්‍යයි. එලෙසින්ම රාජ්‍ය අංශයේ රැකියා ද ලබා දිය යුතුයි. එහෙත් රජයේ රැකියා ලබාදීමෙන් පමණක් අපට ඉදිරියට යන්නට බැහැ. පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා තව තවත් වැඩි කළ යුතුයි. එමගින් ආදායම් මාර්ග ඇති කළ යුතුව තිබෙනවා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා කල්පනා කළේ තරුණ තරුණියන්ට රැකියා ලබා දෙන වැඩසටහන් ආරම්භ කළ යුතු ආකාරයයි. රජයේ රැකියා ලබාදීම පමණක් නොව පෞද්ගලික අංශයේත් රැකියා අවස්ථා සීඝ්රුයෙන් බිහිකළ යුතු බවට එදා එතුමා තීරණය කළා සේම රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනය පිළිබඳව අපේ රජයත් කටයුතු කරමින් සිටිනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *