(කොළඹ, ලංකාපුවත්) –34 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඔක්තෝම්බර් මස පළමු දින සිට 05 වන දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
සමාරම්භක උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙසින් 1984 වසරේ එවකට අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කරනු ලැබූ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර උළෙලේ අවසන් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුහාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් කරුණු දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) කොළඹ ඔලිම්පික් නිවහනේ දී පැවැත්වුණි.
මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා සඳහන් කළේ මෙවර තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39000ක් සහභාගී වන බවයි. මලල ක්‍රීඩා තරග සඳහා පමණක් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 6,000 කට අධිකයි.
ඇදවැටී තිබූ පාසල් ක්‍රීඩා යළිත් නගාසිටුවීම සඳහා වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත 2015 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ අතර, මේ වනවිට ආසියාවේ හොඳම කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම සිටින්නේ ශ්‍රී ලංකාවේ බව සුනිල් ජයවීර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ක්‍රිකට් ක්‍රීඩාව යළිත් දියුණු කිරීම සඳහා ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩපිළිවෙලක් සකස් කළ බව පෙන්වා දුන් ඒ මහතා ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඒ සඳහා සිය සහාය දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය සමග මේවන විට කටයුතු කරන බව කියා සිටියේය.
දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන ක්‍රමය මගින් ද පාසල් මට්ටමින් ක්‍රීඩා සඳහා දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියට ගොස් අධ්‍යාපනය ලැබීමේ වරම හිමිවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
වත්මන් අධ්‍යාපන අමාත්‍යතුමන් පාසල් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද පැහැදිලි කළ ඒ මහතා ඒවායේ සාර්ථක ප්‍රතිඵල තවත් වසර කිහිපයක් ඇතුළත දැකගත හැකිවනු ඇති බව ද සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුව අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩා වැටීමක් ඇති බවත් ඒ සඳහා ඇතැමුන්ගේ අනවශ්‍ය ඇඟිලිගැසීම් බලපා ඇති බවත් පෙන්වා දුන්නේය.
ක්‍රිකට් පාලක මණ්ඩලය යොදා ගනිමින් තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට සහ ව්‍යාපාර කිරීමට මෙන්ම තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවට, එහිදී අමාත්‍යවරයා චෝදනා කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව පරිහානියට පත්වීම බලා සිටිනු නොහැකිව පාසල් මට්ටමින් හෝ ක්‍රිකට් නගා සිටුවීම සඳහා තමන් ප්‍රවීණ ක්‍රීඩකයන්ට ඒ සඳහා ආරාධනා කළ අතර සියල්ලන්ම ඒ සඳහා පැමිණ සහාය දැක්වූ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ස්තුති පූර්වකව සඳහන් කළේය.
පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස්ට විදෙස් රටක සිට උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව ලබා දුන්නේ ද ක්‍රීඩාවට දක්ෂයන් සඳහා දිරිය ලබා දීමේ අරමුණ ඇතිව බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇතැම් විට එම තීරණය විවේචනය කිරීමට ඇතැමුන් පෙළඹිය හැකි වුවද ක්‍රීඩාව වෙනුවෙන් නොබියව තමා එම තීරණය ගත් බව සඳහන් කළේය.
ශ්‍රියානි කුලවංශ මහත්මියට උපාධියක් හැදෑරීම සඳහා පසුගිය කාලයේදී අවස්ථාව ලබා නොදී තිබූ බවත් රටට කීර්තියක් ලබා දුන් ඇයට එම උපාධිය හැදෑරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තමන් පියවර ගත් බවත් සදහන් කළ අමාත්‍යවරයා, ක්‍රීඩාව සඳහා කැපවීම ඇති අයට අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට ඉඩකඩ ලබා දිය යුතු බව ද පෙන්වා දුන්නේය.
ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබුවන් 3850 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පද්ධතියට එක්කර ගැනීම සදහා මේ වනවිට තෝරා ගෙන ඇතත්, එම පිරිස් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළාත් සභා මගින් විරෝධතා එල්ල වීම නිසා අදාළ බඳවා ගැනීම් ප්‍රමාද වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අදාළ පිරිස් කඩිනමින් බඳවා ගන්නා බව කියා සිටියේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ,අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්යක්ෂ මංජුල කාරියවසම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.