දෙවින් ඉදුසර සිසුවාට ජනපතිගෙන් නවීන රෝද පුටුවක්

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාපනයේ විශේෂ සමත්කම් දක්වන ගල්කිස්ස දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයේ දෙවින් ඉදුසර රත්නායක සිසුවාගේ අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නවීන රෝද පුටුවක් ලබාගැනීම සදහා රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

ගල්කිස්ස දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර 2017 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් ඒ සමාර්ථ 03 ක් ලබා ගනිමින් සරසවි වරම් ලැබූ දෙවින් ඉදුසර රත්නායක සිසුවා ද එහි දී ජනාධිපතිතුමා අතින් සම්මානයක් ලබා ගත්තේ ය.

රෝද පුටුවෙන් පැමිණි මෙම සිසුවා සමග කතා බහක නිරත වීමට ජනාධිපතිතුමා අමතක නොකළ අතර විශේෂ අවශ්‍යතා මොනවාදැයි ද එහි දී දරුවාගෙන් කළ විමසීමේ දී තම අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීමට විදුලියෙන් ක්‍රියාකරන රෝද පුටුවක් ලබාදෙන්නේ නම් පහසුවක් වනු ඇති බව පැවසීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ඒ මොහොතේදී ම එම දරුවාට විදුලියෙන්ක්‍රියාකරන රෝද පුටුවක් ලබාදීමට සහතික විය.

එම පොරොන්දු ඉටු කරමින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරුණු අතර සිය පියාණන් සමග ජනාධිපති කාර්යාලය වෙත පැමිණි දෙවින් ඉදුසර රත්නායක සිසුවා අදාළ චෙක්පත ජනාධිපතිතුමා අතින් ලබා ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *