(කොළඹ, ලංකාපුවත්) – විවිධ බාධක මැද අඩක් ලෙස දිනාගත් ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන්ම දිනාගැනීමට බලකැරෙන මහා ජනතා රැලිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) සවස 1.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා සිට ඊයේ දින දක්වා ආපස්සට ගිය රට නැවත ඉදිරියට ගෙනයෑමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ රජයට ශක්තිය ලබාදීම උදෙසා මහ ජනකායකගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණ රැලිය පැවැත්වෙන බවද කාරියවසම් මහතා සඳහන් කළේය.
නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ උදේ 11.16 ට යෙදුණු සුබමොහොතින් දිවුරුම් දුන් මොහොත වාර්තා කිරීමට කිසිදු මාධ්‍යයකට අවසර ලබානොදුන් බව කී කාරියවසම් මහතා ඒ අනුව අඩක් දිනාගත් ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන්ම දිනාගන්නා තෙක් මේ උද්ඝෝෂණ ක්‍රියාදාමය සිදුකළ යුතුව ඇතැයිද කීය.
එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන අප රටේ ප්රජාතන්ත්රවාදය රැකගැනීමට කැපවන ආරක්ෂා කිරීමට උනන්දු වන සියලුදෙනාටම මේ උද්ඝෝෂණ ජනරැලියට එක්වන්නැයි තමා ආරාධනා කරන බවද කාරියවසම් මහතා කියා සිටියේය.