(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව අලුත්ම මට්ටමකට වර්ධනය කරමින් ඉන්දු – පැසිෆික් එන්ඩේවර් 2019 ( Indo Pacific Endeavour 2019 – IPE 19 ) වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය කණ්ඩායමක යුධ, නාවික, සහ ගුවන් හමුදා අංශ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස් ජෝන් පිලිප් සඳහන් කලේ “ඔස්ට්‍රේලියාව සෑම කලකම ඉන්දීය සාගරයේ ජාතියක් වූ බවයි. කලාපය තුල ඉහල යන අන්තර්සම්බන්ධතාවයන් සහ ගතිකයන් සමගින් අඛණ්ඩ වර්ධනයේ ප්රතිලාභ සියලු රටවලට හිමි වන ස්ථාවර , සුරක්ෂිත, නීතිය මත පදනම් වූ වැඩපිළිවෙලක් ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සමග සහෝයෝගිතාවය ශක්තිමත් කරගැනීමට ඔස්ට්‍රේලියාව කැප වී සිටී. ”
ඕස්ට්‍රේලියාවේ නෞකා හතරකින් දහසකට අධික පිරිසක් ලබන 23 වැනිදා කොළඹට සහ ත්‍රිකුණාමලයට ලඟා වීමට නියමිතය. ඔවුන් ලබන තිස් වෙනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට මත්තෙන් ආපදා සහයෝගිතා සැලසුම්, සහයෝගය වර්ධනය කරන නාවික උපක්‍රම සහ හමුදා පුහුණු ක්‍රියාකාරකම්, හුරුපුරුදුකම්, අන්තර්ක්‍රියාකාරී හැකියාවන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා හමුදාවන් එක්ව කටයුතු කරනු ඇත.
IPE-19 යනු ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එතෙක් මෙතෙක් සිදුකෙරෙන විශාලතම ආරක්ෂක ක්රියාකාරකමයි. ඒ යටතේ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරායේත්, පැරමැට්ටා සහ සක්සස් යන නෞකා ත්‍රිකුණාමලය වරායේත් නැංගුරම්ලෑමට නියමිතය. ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා යානයක් මත්තල වෙත පියාසර කිරීම ද සිදු කෙරේ.
ඉන්දියානු සාගරය නිදහස්, විවෘත සහ පුළුල්ව පවත්වා ගෙන යෑම වෙනුවෙන් නීති මත පදනම්වන කලාපීය වැඩපිළිවෙලක් සඳහා ඉන්දීය – ශාන්තිකර කලාපීය ජාතින් ලෙස ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරයි.
“සහයෝගිතාව, නීති සහ සම්මතයන්ට ඇති ගරු කිරීම, පාරදෘශ්‍යභාවය, ආර්ථික ස්ථාවරත්වය, සහ අනොන්‍ය ගරුත්වය කලාපය පිලිබඳ ඕස්ට්‍රේලියානු දර්ශනයේ අංගයන් වන්නේ” යැයි පිලිප් මහතා වැඩිදුරටත් සඳහන් කලේය. “ජාත්‍යන්තර නීතියට සහ නිර්බාධ වෙළදාමට බැඳීමක් ඇතිකර ගැනීම සඳහා අප යන ගමනේ ශ්‍රී ලංකාව යනු ඕස්ට්‍රේලියාව විසින් තෝරාගත් හවුල් කරුවෙකි.”
ශ්‍රී ලංකාවෙන් පිටත් වීමෙන් අනතුරුව IPE – 19 නෞකා සහ අනෙකුත් අංශ කලාපයේ සෙසු හවුල්කරුවන් වන ඉන්දියාව, ඉන්දුනිසීයාව, මැලේසියාව, සිංගප්පුරුව, තායිලන්තය සහ වියට්නාමය බලා පිටත්ව යෑමට නියමිතය.