රටේ ඇතිවූ සිදුවීම් සොයා බැලීමට තේරීම් කාරක සභාවක්

(කොළඹ, ලංකාපුවත්) – “පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය හා ඉන් පසු රටේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ඒ සඳහා වන සාමාජිකයින් ඉදිරියේදී නම් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ජනපති, අගමැති හා විපක්ෂ නායක මේ අවස්ථවේ එකට එකතුවී වැඩ කිරීමේ වැදගත් කම සම්බන්ධව පක්ෂ නායක රැස්වීමේදී පවා කතා කළ බවත් එය තේරුම් ගෙන සියලු දෙනා එකට එකතුවී වැඩ කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා පැවසුවේය. මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් කතානායකවරයා ඊයේ (15) මේ බව ප්‍රකාශ කළේය.

මෙම අන්තවාදී ප්‍රහාරය සම්බන්ධවත් එවැන්ක් යළි මෙරට තුළ ඇති වීම වලක්වා ගැනීම පිණිසත් සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සහයෝගිතාව හා විශ්වාසය ඇති කරන්නටත්,ආරක්ෂාව තහවුරු කරන්නටත් අවශ්‍යය කරුණු සොයා යෝජනා කිරීම පිණිස පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් එවැනක් ඇති කිරීම පිණිස ජනපතිතුමන්ට යෝජනා කිරීමට අපේක්ෂා කරන බවද කතානායක වරයා කීවේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර තේරීම් කාරක සභාව සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධව එකඟතාවකට පැමිණි බවද ඒ මහතා කීය.

තරුණ අසහනය පැවැති එක්දහස් නවසිය අසූ නවය වර්ෂයේ මේ ආකාර පූර්ණ බැලැති ජනපති කොමිසමක් පත්කළ බවද හෙතෙම පැවසුවේය.

අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වුවත් මේවන තුරු තමන් අතට එවැන්නක් බාරදී නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *