මුහුදේ දී විනාශයට පත්වන බෝට්ටු සදහාත් සියයට 50 ක සහනාධාරයක්

(කොළඹ, ලංකාපුවත්) –ධීවර රැකියාවේ නිරතව සිටියදී අනතුරට පත්ව විනාශ වන බෝට්ටුව වෙනුවට නව බෝට්ටුවක් සදහා වැය වන මුදලින් සියයට 50 ක් සහනාධාරයක් ලෙස ලබාදීමට තීරණය කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

රාජ්‍ය අමාත්‍යතුමා සදහන් කලේ දැනට අඩි 55 බෝට්ටුවක් මිලදී ගැනීම සදහා ලබාදෙන සියයට 50 සහනාධාරය විනාශ වන බෝට්ටු වෙනුවට නව බෝට්ටුවක් ගැනීම සදහා ද ලබාදීමට මේ යටතේ කටයුතු කරන බවය .

පසුගියදා විනාශයට පත් වූ ධීවර යාත්‍රා පිලිබදව සහ විපතට පත් ධීවර පවුල් වෙනුවෙන් යම් සහන වැඩපිළිවෙලක් සකස් කිරීම පිලිබදව අද [ 22 ] පැවති සාකච්ජාවේදී ඇමතිවරයා මේ බව සදහන් කළේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා . “ බෝට්ටුවක් තැනීමට ලක්‍ෂ 150 ක් පමණ වැය වෙනවා . ඒ මුදල හොයාගන්නේ ඉඩමක් විකුණලා , නැත්නම් තියෙන දේපළ උගස් කරලා . බැංකු වලට ණය වෙලා . දන්නා කියන අයගෙන් ණයට අරගෙන , ගෙදර රන් අභරණ උගසට තියලා . එහෙම කරලා ධිවර රැකියාවට යවන බෝට්ටුව මහා මුහුදේදී විනාශ වුනාම ඒ පවුලම විනාශයි . මේ විනාශ වන බෝට්ටුවලට වන්දි ලබාගැනීමේ ගැටළු තියෙනවා . මේ නිසා ධීවරයා කබලෙන් ලිපට වැටෙනවා . පවුල් පිටින් ධිවරයින් අනාථ වෙනවා . මේ තත්වය බරපතල සමාජ ගැටළුවක් .මේ තත්වය පිලිබදව මම ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් සමග සාකච්ජා කළා . ඒ මුහුදේදී විනාශ වන යාත්‍රාවක් සදහා නව යාත්‍රාවක් වෙනුවෙන් වැය වන මුදලින් සියයට 50 ක් සහනාධාර මුදලක් ලෙස ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීමට . ඒ සදහා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරලා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාගැනීමටත් තීරණය කළා . දැනට මෙම සියයට 50 සහනාධාරය ලබා දෙන්නේ අඩි 55 බෝට්ටු සදහා . ඒ කියන්නේ සල්ලි කාරයින්ට බෝට්ටු හදාගන්න . ” යැයි පැවසිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *