(කොළඹ, ලංකාපුවත්) –පර පණ නැසීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට තමන්ට සහය දැක්වීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පැවසීය.
පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයත්, මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරලීමට එකඟ නැති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එහෙයින් මෙම ගැටලු පිළිබඳ මුලින්ම අමාත්‍ය මණ්ඩලය සමඟත්, අනතුරුව ජනාධිපතිතුමා සහ කතානායකතුමා සමඟ සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (30) වන දින මොනරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් අනතුරුව මාරිඅරාව සතිපොළ භූමියේ පැවැති ජනහමුව අමතමිනි.
මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දිනයේ මොනරාගල ඔබ්බේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, දැලිව මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම, කතරගම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම, තණමල්විල යොවුන් සේනාංක මධ්‍යස්ථානය විවෘත කිරීම, තණමල්විල ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සිදුකෙරුණු අතර, දැලිව කොස්ගස්අරාව වැවේ සංචාරය කරමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද නිරීක්ෂණය කරන ලදී.
මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා 2016 වසරේ එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ යෝජනාවට ශ්‍රී ලංකාව සහය ලබාදුන් බවද ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන්ද, තමා අගමැති වශයෙන්ද තනතුරු දැරූ බව වික්‍රමසිංහ මහතා කීය.
2018 වසරේ දෙසැම්බර් 17 වනදා එක්සත් ජාතීන් එම යෝජනාව යළි සමාලෝචනයට භාජනය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව ඊට සහය දුන් අතර, එවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරද, මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරද දැරූ බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලින්ම තීරණය කළ බවත්, ඉන්පසු ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් ඒ තීරණය ඉදිරියට ගෙන ගිය බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඉතිහාසයේ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් සිදුනොකළ සංවර්ධනයක් ෙමානරාගල දිස්ත්‍රික්කයේ වත්මන් ආණ්ඩුව සිදුකර තිබෙන බව පැවසූ රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම සංවර්ධනයේ ප්‍රතිඵල ජනතාවට දැන් ලැබෙමින් පවතින බව පෙන්වා දුන්නේය.
මොනරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් ඔප්පු නොමැති 20,000 කට පමණ පසුගිය වසර 4 තුළ ඉඩම් ඔප්පු ලබාදී තිබෙන බවත්, ඒ සියල්ලටම ඉදිරියේදී සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.
ජනතාව රැවටූ යුගය අවසන් කර රටේ සමස්ත ජනතාවට ප්‍රතිඵල ලැබෙන ආකාරයේ සැබෑ සංවර්ධනයක් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන බවත් මේ සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමෙන් ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කර ගත හැකි බවත්, එම අවස්ථාවට එක්වෙමින් නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව 2015 දී මේ රට භාරගන්නා අවස්ථාව වනවිට මේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයෙන්ම කොන් වූ රටක් බවට පත්ව තිබුණු බවත් ඒ රට එම තත්ත්වයෙන් මුදාගෙන මහා ණය කන්දක් ගෙවා දමමින් ජනතාවට ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කරදෙමින් සැබෑ සංවර්ධනයක් කරා රට මෙහෙය වූ බවත් ලකී ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ඌව පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජයසිංහ බණ්ඩාර, එහි මන්ත්‍රීවරුන් වන සම්පත් ජයසූරිය, හරේන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් ප්රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.