කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව ලකුණූ 23 ක ජයක් වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – පළමුව පන්දුවට පහරදී ශ්‍රී ලංකා පිල කඩුලු 6කට රැස් කළ ලකුණු 338ක දැවැන්ත ඉනිම හඹා ආ කොදෙව් පිල අවසන් ඕවර කිහිපයේ මෙල්ල කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඩැරම් හී රිවර් සයිඩ් ක්‍රීඩාංගණයේදී ලකුණු 23ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේය.

අමතක නොවන පිතිහරඹයක නිරතවූ යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ට ශතකය නිසා දැවන්ත ඉනිමක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පිල සමත්වූවත් ඒ හා සමාන පිතිහරඹයක නිරතවෙමින් නිකලස් පූරන් රැස් කළ ශතකය නිසා අවසන් ඕවර 3ක් වනවිටත් තරගය දෙපිලටම විවෘතව තිබිණ.

ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ එකම තරගයකදී අවුරුදු 25ට අඩු පිතිකරුවන් දෙදෙනකු ශතක රැස් කළ පළමු අවස්ථාව මෙය විය. ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තැබූ අවිශ්ක ප්‍රනාන්දු 21 හැවිරිදි වියෙහි පසුවන අතර කොදෙව් පිලේ බලාපොරොත්තු ඉහළ දැමූ පූරන් 23 හැවිරිදි පිතිකරුවෙකි.

මෙවර ලෝක කුසලාන තරගමාලාවේදී ශ්‍රී ලංකා පිල රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර ඊට පෙර ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස 247ක් වාර්තා වූයේ ඔස්ට්‍රේලියාවට එරෙහිවය.

ලකුණු 339ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් පිල පළමු ඕවර 10දී ලකුණු 37කට සීමා කරමින් කඩුලු 2ක් බිඳ දැමීමට ලසිත් මාලිංග සමත්වීම නිසා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්ට වෙනදා දක්වන වේගවත් පිතිහරඹය දියත් කිරීමට අසීරු විය. ඔහුට ලකුණු 14ක් රැස් කිරීමට පන්දු 31 ක්ම වැයවූ අතර ඔහුගේ පළමු හතරේ පහර වාර්තා වූයේ ද ඉන් පසුවය. කෙසේවෙතත් කොදෙව් පිල ජයග්‍රහණයට දුරස්ථ වෙද්දී පූරන් සහ ෆේබියන් ඇලන් එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 83ක් රැස් කිරීම නිසා ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව තරමක් අවදානම් තත්වයකට වැටිනි.

සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් ජයග්‍රහණය හඹා ගිය පූර්න්ගේ කඩුල්ල දවාලනු ලැබුවේ පළමු වරට පන්දු යැවීමට කැඳවූ ඇන්ජෙලෝ මැතිව්ස්ය. ඔහු යැවූ ඉනිමේ 47 වැනි ඕවරයේ පළමු පන්දුවෙන්ම පූරන් දැවීයාමෙන් තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හැරිණි.

නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ඕවර 15කුත්, පන්දු 2ක් ඇතුළත පළමු කඩුල්ලට ලකුණු 93ක් රැස් කරමින් සාර්ථක ආරම්භයක් ගත් අතර දිමුත්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි අවිශ්ක සිය මංගල එක්දින ශතකය වාර්තා කළේ පළපුරුදු කොදෙව් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිතිහරඹයක නිරතවෙමිනි. එමෙන්ම එය ලෝක කුසලාන තරගමාලාවේදී ශ්‍රී ලංකා පිතිකරුවකු රැස්කළ පළමු ශතකය ද විය.

33 වැනි ඕවරයේදී ඔෂේන් තෝමස්ට හතරේ පහරකින් සංග්‍රහ කරමින් සිය අර්ධ ශතකය වාර්තා කළ අවිශ්කගේ ශතකය වාර්තා වුයේ කාලෝස් බ්‍රැත්වේට් විසින් යවන ලද ඉනිමේ 47 වැනි ඕවරයේදීය. පන්දු 100කින් වාර්තා වූ අවිශ්කගේ ශතකයට හතරේ පහර 8ක් සහ හයේ 2ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 314 දක්වා ඉහළට ඔසවා තබා අවිශ්ක පිටියෙන් ඉවත්වූයේ පන්දු 103කදී ලකුණු 104ක් වාර්තා කිරිමෙන් පසුවය.

ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 104දී කුසල් ජනිත් දුවද්දී දැවී යාමෙන් පසුව කුසල් මෙන්ඩිස් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 85ක් එක් කරමින් ද, ඇන්ජෙලෝ මැතිව්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 58ක සම්බන්ධතාවක් ගොඩ නගමින් මේ 21 හැවිරිදි දකුණත් පිතිකරුවා දැක්වූ දස්කම් කාගෙත් අවධානයට ලක්විය.

පළමු ඕවර 10 නිමාවනවිට ශ්‍රී ලංකා පිල කිසිවකු නොදැවී ලකුණු 49ක් ලබා සිටි අතර ෂැනොන් ගේබ්‍රියෙල් යැවූ 11 වැනි ඕවරයේදී පිට පිට හතරේ පහර 3ක් එල්ල කරමින් කුසල් ජනිත් ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළේය. කුසල් ජනිත්ගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 42කිනි. එය ඔහුගේ 14 වැනි එක්දින අර්ධ ශතකය වූ අතර මෙම තරගමාලාවේ ලද තුන්වැනි අර්ධ ශතකය ද විය. කාලෝස් බ්‍රැත්වේට් යැවූ 19 වැනි ඕවරයේදී ඔහු දුවද්දී දැවී ගියේ නොතිබූ දෙවැනි ලකුණ කරා දිව යාමට උත්සාහ කිරීමේදීය.

අවිශ්කට අගනා සහයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් පන්දු 41කදී හතරේ පහර 4ක් සමග ලකුණු 39ක් රැස් කළ අතර ඔහු දැවී ගියේ ෆේබියන් ඇලන් විසින් යවන ලද 32වැනි ඕවරයේදී පෙරළා දුන් උඩපන්දුව විශිෂ්ට අයුරින් ඔහු රැක ගැනීමෙනි. එය මෙවර ලෝක කුසලාන තරගමාලාවේ වාර්තා වූ විශිෂ්ටතම උඩපන්දු අතරින් එකක් බවට විචාරකයන්ගේ පැසසුමට ලක්විය.

40 වැනි ඕවරය ආරම්භ වනවිට මැතිව්ස් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 247 දක්වා ඇදගෙන යාමට අවිශ්ක සමත්වූ අතර දෙදෙනා එක්ව ඕවර 30 සිට ඉතිරි ඕවර 10දී කොදෙව් පන්දු යවන්නන්ගෙන් ලකුණු 80ක් උදුරා ගත්හ. මැතිව්ස්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසියේ ළහිරු තිරිමාන්නය. ඔහු ඊයේ අංක 6 ස්ථානයේ ක්‍රීඩා කිරීම කැපී පෙනුණි.

ඕවර 40ක් නිමාවනවිට කඩුලු 4කට ලකුණු 253ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල අවසන් ඕවර 10දී කොදෙව් පන්දු යවන්නන්ගෙන් ලකුණු 85ක් උදුරා ගත්තේය. ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට කොදෙව් පන්දු යවන්නන්ගෙන් දැඩි තර්ජනයක් එල්ල නොවූ අතර ඔවුන්ගේ පන්දු රැකීම ද දුර්වල මට්ටමක පැවැතිණි.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් 3ක් සිදුකර තිබිණ. තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් වෙනුවට ජෙෆ්රි වැන්ඩෙසේ, ළහිරු තිරිමාන්න සහ කසුන් රාජිත කණ්ඩායමට එක්වූහ. කොදෙව් පිලේ සිදුවූ එකම වෙනස්කම වූයේ අසනීපයෙන් පසුවන කේමර් රෝච් වෙනුවට ෂැනොන් ගේබ්‍රියෙල් ක්‍රීඩා කිරීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *