(කොළඹ, ලංකාපුවත්) –සිවිල් ආරක්ෂක බළකාය ස්ථාපිත කර සියලු පහසුකම් සැලසූ අයුරින්ම මා බලයට පත් වූ පසු එම බළකායේ සෙබළුන්ට ඇති සියලු ප්‍රශ්න විසඳන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කෙළේ සාර්ථක දැක්මක් – වැඩකරන රටක් තේමාව ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ අම්පාර දිස්ත්‍රික් ජන රැලියට ඊයේ (29) එක්වෙමිනි.
අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති මෙම රැස්වීම අමතා වැඩි දුරටත් ඒ මහතා මෙසේ පැවසීය.
සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ වැටුප් විසමතා ඇතුළු ගැටලු පිළිබඳ තමන්ගේ අවධානය යොමුව ඇති බව පැවසූ රාජපක්ෂ මහතා එම සාමාජිකයන් මුදල් නොගෙවා විවිධ ප්‍රදේශවල සේවයට යොදා ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරන බවත් ප්‍රකාශ කෙළේය.
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව නැවතත් එවැනි වාතාවරණයක් ඇති නොවන ලෙස සකස් කළ ආරක්ෂක සැලැස්ම වත්මන් ආණ්ඩුව අඩපණ කළ බව පැවසූ රාජපක්ෂ මහතා ඒ හේතුව නිසා ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් වසර දහයකට පසුව නැවතත් ත්‍රස්තවාදය හිස එස වූ බවත් කීවේය.
ජාතික ආරක්ෂාව මෙන්ම අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍ය යනා දී සියලු ක්ෂේත්රයන් සම්බන්ධයෙන් පැහැදිලි සැලැස්මක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් එළිදක්වා තිබෙන බව පැවසූ රාජපක්ෂ මහතා ජනතාව යුතුකම ඉටුකළහොත් තමන්ගේ යුතුකම ඉටුකිරීමට සූදානම් බවත් ප්‍රකාශ කෙළේය.
විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ශ්‍රියාණි විජේවික්‍රම මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.