16න් පස්සේ දේශපාලකයින්ගේ සුර සැප කාලය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – තම පාලනයක් යටතේ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට විදේශගත විය හැක්කේ ජනතාවට සෙතක් සැලසීමේ අරමුණින් පමණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නුගේගොඩ නගරයේ ඊයේ (31) පස්වරුවේ පැවති ජන රැලියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කර ඇති ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ නුගේගොඩ නගර මධ්‍යයේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“මේ රටේ ආණ්ඩු මාරු වන ගානට අමාත්‍යංශවල වාහන මාරු වෙන ක්‍රමවේදයක් තියෙනවා.

අලුත් ආණ්ඩුවක් බිහිවෙන කොට අමාත්‍යවරුන්ට සැප වාහන ලබා දීම සම්පූර්ණයෙන්ම නතර කරනවා.

බදු මුදල්වලින් මේ රටේ පාසල්, රෝහල් පද්ධතිය දියුණු කරන්න අපිට හැකියාවක් නැද්ද?

කෝට්ටේ වැනි ප්‍රදේශවල දැවැන්ත නිවාස ඉල්ලුමක් තියෙනවා.

නරකද මේ නාස්ති කරන මුදල් ගෙවල් හදලා දෙන්න යොදවන එක?

ගෙයක් නෑ කියන්නේ තමන්ට මේ මහපොළොවේ අයිතියක් නෑ කියන එක.

16 වෙනිදාගෙන් පස්සේ දේශපාලකයින්ගේ සුර සැප කාලය අවසන්.

රටේ බදු මුදල් වියදම් කරනවානම් දේශපාලකයෙක් විදේශයන්හි සවාරියක යනවා නම් එයා ඒ සවාරියේ ගිහින් රටට ආපහු සම්පත් ගේන්න ඕනේ.

ඒ සවාරියේ ප්‍රතිඵල තියෙන්නට ඕනේ.

ප්‍රතිඵලයක් තිබුණෝත් විතරයි බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් මින් ඉදිරියට දේශපාලකයෝ පිටරට සවාරි යන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *