කොළඹ එනව නම් ‘මාස්ක්’දාන්න

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය ඇතුළු සෙසු සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂා වීම සඳහා කොළඹට පැමිණෙන සියලුම ජනතාවට ‘මුඛ ආවරණයක්’ (මාස්ක්) පලඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.

චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසීම හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුගමනය කරන ලෙස වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ සමඟ කොළඹ නගරයේ පොදු ස්ථාන හා හෝටල් ආපනශාලාවලට ඇතුළු වීමේදී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පලඳින ලෙසත් වෛද්‍ය රුවන් විජේමුණි මහතා ඉල්ලා සිටියේය.

“චීනය, ජපානය, කොරියාව වැනි දියුණු රටවල මෙවැනි තත්ත්වයක් ඇති වුණාම මුඛ ආවරණ භාවිත කරනවා. මේ වන විට ලංකාවේ සෙම් රෝගී තත්ත්වයක්ද පවතින බැවින් මුඛ ආවරණයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. මෙය අනිවාර්ය දෙයක් නොවුණත් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එවැනි දෙයක් කිරීම යෝග්‍යයයි.”

එසේම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ සඳහන් කර සිටියේ කොරොනා වෛරසය පිළිබඳ මේ වනවිට විවිධ මිථ්‍යා මත පවතින බවත් මෙම රෝගය වැළැක්වීම සඳහා මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාවක් තවමත් පැන නැඟී නොමැති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *