72 වැනි ජාතික නිදහස් උලෙළ චාම්ව අභිමානවත්ව සැමරේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උලෙළ අභිමානවත්ව හා ඉතාමත් චාම් ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ඊයේ (04) පැවැත්විණි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙරවරු 8.15 ටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 8.17 ට උත්සව භූමියට සම්ප්‍රාප්ත වූ අතර විශේෂ ආරාධිත අමුත්තකු ලෙස රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් ස්ලෙග්හෝ මහතා ද මෙම උත්සවයට එක්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් උලෙළට පැමිණියේ තමා හමුදාවේ සිටිය දී ලබාගත් විර වික්‍රම පදක්කම් ඇතුළු ලබාගත් අනෙකුත් පදක්කම් පැළද ගෙන වීම විශේෂත්වයකි.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පළමුව නිදහස් උත්සවයට පැමිණි අතර ඒ මහතා පිළිගනු ලැබුවේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතික නිදහස් දින උත්සවයට එක්විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ධජය එසවීමෙන් පසු නිදහස් දින උලෙළේ කටයුතු ආරම්භ කෙරුණි. පාසල් දරුවන් ජය මංගල ගාථා ගායනා කරමින් ආශිර්වාද එක් කළහ. රට වෙනුවෙන් දිවි පිදූ සියලු විරුවන් සිහි කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. ආචාර වෙඩිමුර 21ක් සහිතව ත්‍රිවිධ හමුදා සම්මාන උත්තමාචාර මෙහිදී පිරිනැමිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමැතීමෙන් අනතුරුව නිදහස් දින උලෙළේ සම්මාන පෙළපාලි ගමන් කිරීම ආරම්භ කෙරුණි. මෙවර නිදහස් උලෙළ චාම් අයුරින් සංවිධාන කැර තිබුණ ද එහි අභිමානය වැඩි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව , පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පෙළපාලිවලට එක්වුහ. ඒ සඳහා නිලධාරීන් 247 දෙනකු , සෙසු නිලයන් 5260 දෙනෙකු මෙන්ම යුද හමුදා රථ 154 ක් පමණ එක්කර තිබුණි. සංස්කෘතිකාංග මෙන්ම විවිධ නර්තනාංග රැසක් ද නිදහස් දින සැමරුම් උත්සවයට එක්කර තිබුණි. සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම සඳහා ද 51 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙවර ජාතික නිදහස් දින උත්සවයේ උත්තමාචාර පෙළපාලියට එක්වූහ.

වෙනත් වසරවල දී පැය 3 කට වැඩි කාලයක් වෙන් කැර තිබූ උත්තමාචාර පෙළපාලිය සඳහා මෙවර පැය 2 ක් පමණක් වෙන් කැර තිබීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *