රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ දී

(කොළඹ, ලංකාපුවත්) – මෙවර රාජ්‍ය පොසොන් උත්සවය “ ආරෝග්‍යා පරමා ලාභා තේමාව” යටතේ, අනුරාධපුර මිහින්තලේ මැදමළුවේ දී පැවැත්වීමට පැවැත්වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොසොන් කමිටුව ඊයේ (15) පස්වරුවේ විජේරාමයේ නිල නිවසේ දී හමු වූ අවස්ථාවේ මෙම තීරණයට එළැඹියේය.

ලෝකය සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ රාජ්‍ය වෙසක් උත්සවය සැමරුමට “ආරෝග්‍යා පරමා ලාභා” තේමාවම රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමට ද සුදුසු බවට එහිදී පළ කෙරිණි.

මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කර වසර 2328 ක් සපිරෙන මෙවර පොසොන් පොහොය කොවිඩ් – 19 වෛරස තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට හානි නොවන ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සැමරීමට ද එහිදී තීරණය විය. ඒ අනුව මිහින්තලා පුද භූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සහ අටස්මස්ථාන ආශ්‍රිතව වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් දේශනා, හේවිසි පූජා, කප්රුක් පූජා, සහ මාධ්‍ය ආයතනවල අනුග්‍රහය ඇතිව ආලෝක පූජා පැවැත්වීම ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකෙරේ.

මිහින්තලය විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධමමරතන නාහිමි, වහන්තරේ සිද්ධාර්ථ හිමි, අග්‍රහැරේ කස්සප හිමි, එගොඩඋයන ඤාණවිමල හිමි, බුද්ධ ශාසන ආගමික හා බෞද්ධ කටයුතු අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීහු මෙම අවස්ථාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *