(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු අවසන් වීමට නියමිත අගෝස්තු 02 වැනිදාට පසු එළැඹෙන පොහොය දින (අගෝස්තු 03) මැතිවරණ ප්රචාරක කටයුතුවල නියැළීමට ඉඩ ලබා දෙන ලෙස දේශපාලන පක්ෂ ලේකම්වරු කර ඇති ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිය ප්‍රචාරණ කටයුතු නිසි ලෙස සිදු කිරීමට නොහැකි වූ බව සඳහන් කරමින් අගෝස්තු තුන් වැනිදා දක්වා ප්රචාරක කටයුතුවලට අවස්ථාව දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ පසුගිය දා පැවැති අවසාන සාකච්ඡාවේ දී පක්ෂ ලේකම්වරු ඉල්ලීම් කර තිබිණි.
දිවයිනේ විවිධ ස්ථානවලින් කොරෝනා රෝගීන් වාර්තා වන බව සඳහන් කරමින් ඇතැම් පිරිස් ඡන්ද පොළට එන පිරිස අඩු කිරීමට උත්සාහ දරන බවත් ඡන්ද මධ්‍යස්ථානය අන් සෑම තැනටම වඩා සුරක්ෂිත බවත් මැතිවරණයට අදාළ ව මේ දිනවල සිදු කෙරෙන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසුමක දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මෙවර මහ මැතිවරණය පැවැත්වෙන දිනයේදී ඡන්ද පොළට ගොස් සියලු ඡන්ද දායකයන්ට සහ මැතිවරණ රාජකාරිවල නිරත නිලධාරීන්ට තමන් ආදර්ශයක් ලබා දෙන බව ද සභාපතිවරයා කීවේය.