මහ ඡන්දයට වයඹින් මුල් වරට ඉදිරිපත් වූයේ අසීරු හා අභියෝගාත්මක යුගයකදීයි

(කොළඹ, ලංකාපුවත්) – කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මුල් වරට මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ තම දේශපාලන ජීවිතයේ ඉතා අසීරු හා අභියෝගාත්මක යුගයේ දී බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා‍ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් මේ රට සංවර්ධනය කිරීමටත්, සුරක්ෂිත කිරීමටත් කටයුතු කරන බව පවසන ඒ මහතා සාමූහික සංවර්ධන ක්‍රියාදාමයක අරම්භය මෙතැන් සිට සිදුවනු ඇති බවද එකී සංවර්ධන ක්‍රියාදාමයට පක්ෂ පාට භේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ සියලු දෙනාගේම දායකත්වය අපි අපේක්ෂා කරන බවද කියා සිටී.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන අගමැති මහින්ද රාජපක්ෂ මහතා, එතෙක් මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වන පන්ලක්ෂ විසිහත්දහස් තුන්සිය හැට හතරක (527,364) මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙමින් 2020 මහ මැතිවරණයේ දී මා පිළිබඳව තැබූ විශ්වාසයට මගේ ආදරණීය කුරුණෑගල ජනතාවට ප්‍රථමයෙන් මාගේ කෘතවේදීත්වය පළකරමි.

තව ද මා වෙත ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීම සඳහා සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම අපේක්ෂකයන්ටත්, රැස්වීම් සංවිධානය කළ හා ප්‍රචාරණ කටයුතු සිදුකළ සියලු සංවිධායකයන්ටත්, දිවා රෑ වෙහෙසුණ ආධාරකරුවන්ට සහ සංවිධාන කටයුතු සිදුකළ සියලුම දෙනාටත් ස්තූතිය පළ කරන්නට මම මෙය අවස්ථාවක් කරගනිමි.

ඓතිහාසික ජයගහණයක් ලැබූ 2020 මහමැතිවරණය, මාගේ පනස් වසරක දේශපාලන ජීවිතයේ මා ඉදිරිපත් වූ 09 වැනි මහ මැතිවරණයයි. ඓතිහාසික රාජධානි හතරකට උරුමකම් කියන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මුල්වරට මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ මගේ දේශපාලන ජීවිතයේ ඉතා අසීරු හා අභියෝගාත්මක යුගයේ දීය. 2015 මහ මැතිවරණයේ දී මා කෙරෙහි තැබූ අසීමිත විශ්වාසය මෙවර 2020 මහ මැතිවරණයේදීත් වඩාත් ශක්තිමත් ලෙස තහවුරු කර ඇති බව කෘතවේදීව සිහිපත් කරමි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාමින් සිටින ප්‍රශ්න කෙරෙහි අපි පසුගිය දිනවල දී අවධානය යොමු කළෙමු. එකී ප්‍රශ්න තවත් මැතිවරණයක දේශපාලන පොරොන්දු බවට පත්වීමට ඉඩ නොතබා විසඳීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මා ඇතුළු රජය ඉදිරි කාලය තුළ කටයුතු කරමු. මෙතැන් සිට මා වෙත පැවරී ඇත්තේ අතිශය භාරදූර වගකීමකි. මා හට බහුතර මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාදුන් කුරුණෑගල ජනතාව පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව අපේක්ෂා කළා වූ සමෘද්ධිමත් හා සාමකාමී රටක් බිහිකිරීමේ වගකීම දැන් අප ඉදිරියේ ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් මේ රට සංවර්ධනය කිරීමටත්, සුරක්ෂිත කිරීමටත් කටයුතු කරන බව වගකීමෙන් ප්‍රකාශ කරමි. සාමූහික සංවර්ධන ක්‍රියාදාමයක අරම්භය මෙතැන් සිට සිදුවනු ඇත. එකී සංවර්ධන ක්‍රියාදාමයට පක්ෂ පාට භේද පසෙක ලා ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ සියලු දෙනාගේම දායකත්වය අපි අපේක්ෂා කරමු. මේ එළැඹී ඇත්තේ වැඩකරන කාලයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *