ගොවිබිමට ගොස් වී මිලදී ගැනීමේ ක්‍රියාන්විතයට ජනතාව තුළ දැඩි උනන්දුවක්

(කොළඹ, ලංකාපුවත්) –වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය අනුරාධපුර, මඩකලපුව, අම්පාර පොළොන්නරුව, හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 6ක් මුල් කරගෙන දිවයින පුරා ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(17) කිලිනොච්චිය ප්‍රදේශයේ වී මිලදී ගැනීමේ කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවට එක් විය. එහිදී කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාවගේ වී මිලදී ගැනීමේ ක්‍රියාන්විතයට දැඩි උනන්දුවක් පැවති බව නිරීක්ෂණය කෙරුණි.

ඒ අනුව ඔඩිඩුසුඩාන් හා කිලිනොච්චි සහකාර කළමනාකාරවරයා කියා සිටියේ පහසුවෙන්ම වී මෙට්‍රික් ටොන් 10000 ක්, එම දිස්ත්‍රික්කයෙන් මිලට ගත හැකි බවයි. වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රමුඛතාවය ලබා දී ඇති දිස්ත්‍රික්කයන්ට අමතරව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මෙම වී මිලදී ගැනීමේ ක්‍රියාන්විතය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.

ඒ අනුව සමස්ථයක් ලෙස මසක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් මිලට ගැනීමේ වැඩපිළිවෙල මේ වන විට ඉතා සාර්ථක බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රජය සතු වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක සංචිතයක් පවත්වාගෙන යාම තුළින් වී හා සහල් මාෆියාවෙන් ගොවියාත්,පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම රජයේ අපේක්ෂාවයි.ඒ සඳහා වී අලෙවි කිරීමේ ක්‍රියාවලියට උතුරේ ජනතාව දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටි.

තරඟකාරි මිලට රජය වී මිලදී ගැනීමට තීරණය කිරීම තුළින් තමන්ට ඉතා හොඳ ආර්ථික තත්ත්වයක් උදා වූ බව එම ප්‍රදේශවල ගොවි ජනතාව පෙන්වා දෙයි. ඒ අනුව වී අලෙවි මණ්ඩලයට තම අස්වැන්න අලෙවි කිරීමට තීරණය කළ බව වී ගබඩාවට පැමිණි ගොවි ජනතාව ප්‍රකාශ කළේය.

කිලිනොච්චි සහ ඔඩිඩුසුඩාන් වී ගබඩා සංකීර්ණ මේ වන විටත් මුළුමනින්ම පිරි ගොස් ඇති අයුරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. කිලිනොච්චිය වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයට ගිය අමාත්‍යවරයා වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීය.

දිස්ත්‍රික්ක 6 යේ වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයට පමණක් නිලධාරීන් 366 ක් යොදවා ඇති අතර ගොවි බිමටම ගොස් අත්පිට මුදලට වී මිලදී ගැනීමට එම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. උතුරු පළාතේ ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවල ද මේ ආකාරයෙන් වී මිලදී ගැනීමේ රජයේ ක්‍රියාන්විතයට දැඩි උනන්දුවක් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *