රඹුක්කන ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ගණන ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයෙන් දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වූ ජනතාව විසුරුවා හැරීමේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 29 දෙනෙකු රෝහල්ගත කළ අතර ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

තුවාල ලැබූ පුද්ගලයින් අතර පොලිස් නිලධාරින් 15 දෙනෙකු ද වන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පැවසුවේය.

රෝහල්ගත කළ අතර පුද්ගලයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.

ඉන් එක් අයෙකුට සැත්කම් සිදුකර අවසන් බව කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් රඹුක්කන ප්‍රදේශයේ ජනතාව ඊයේ (19) අලුයම 01.00 පමණ සිට පැය 12කට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතව තිබුණි.

ඔවුන් දුම්රිය මාර්ගය හරස් කර විරෝධතාවයක නිරත වූ අතර පොලිසිය අවස්ථා කිහිපයකදී ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ කළේය.

පොලීසිය සිදුකළ ඉල්ලීමට විරෝධතාකරුවන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.

මේ අතර රඹුක්කන සිද්ධියෙන් මියගිය පුද්ගලයා සිය පක්ෂයේ යෞවුන් පෙරමුණේ සමාජිකයෙකු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *