සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක සුරකිමු ගංඟා වැඩසටහන මැණික් නදිය අසළ ඓතිහාසික රුහුණු කතරගම පූජා භූමි පරිශ්‍රයේදී ඊයේ(22) ආරම්භ විය.

ලෝක ජල දිනයට සමගාමී ලෙස මෙම වැඩසටහන ආරම්භ කෙරුණි. සුරකිමු ගංගා වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පිරිසිදු කිරීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 23000 කි.

එම මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් වසර අවසන් වීමට පෙර මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා අමතර මුදල් සම්පාදනය කිරීමට ද සූදානම් බව ජනාධිපතිතුමා කියා සිටියේය. පරිසර විනාශයක් පිළිබඳ කොළඹ සිට නිර්මාණය කෙරෙන සැළසුම් සහගත වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී කරුණු දැක්වීය. දශකයකට පමණ පෙර කොළඹ සහ තදාසන්න ප්‍රදේශ පැවති ආකාරය අද බොහෝ දෙනෙකුට අමතක වී ඇති බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිහිපත් කළේය.

සමරු ඵලකය නිරාවරණය කරමින් සුරකිමු ගංගා ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කෙරුණේ ජනාධිපතිතුමාගේ සුරතින්ය.

මැණික් ගගේ පොලිතින් හා ප්ලාස්ටික් රදවන ස්ථාපනය කිරිම, පොලිතීන් මල්මාලා වෙනුවෙන් ස්වභාවික මල්මාලා ප්‍රචලිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත මල්මාලා හඳුන්වාදීම වැඩසටහනේ සමාරම්භයට සමගාමී ලෙස සිදු විය.

බහුකාර්ය කැබලිකරණ යන්ත්‍රය මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ජනාධිපතුමා මෙහිදී නිල වශයෙන් භාරදීම සිදු කළා. සොබාකෙත සඟරාව සහ මිහිමඩල පුවත්පත ජනාධිපතිතුමා වෙත පිලිගැන්වීම සිදු කළේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි. සුරකිමු ලංකා ජාතික වැඩසටහන අදාළ භූගෝලීය තොරතුරු තාක්ෂණික මාර්ගගත පරිගණක යෙදවුමද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා.

ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103 ම පුනරුත්ථාපනය කොට ආරක්ෂා කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ් දස වැදෑරුම් ප්‍රතිපත්තිවල නවවැන්න ලෙස මෙය ක්‍රියාත්මකයි. ගංගා ජලයට කර්මාන්තශාලාවලින් අපද්‍රව්‍ය බැහැර කිරීම හෝටල් ව්‍යාපාරික හා නිවාස ආදියෙන් කැළි කසළ ආදිය එක්වීම නැවැත්වීම මෙන්ම වැලි කැණීම් නැවැත්වීම සහ ඉවුරු සංරක්ෂණය , ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සහ පාංශු ඛාදනය අවම කිරීම සදහා මෙහිදී කටයුතු කෙරේ.

මෙම අවස්ථාවට පූජ්‍ය කොබවක ධම්මින්ද හා පූජ්‍ය කපුගම සරණතිස්ස යන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය , පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ,මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *