නිසරු බිම්වල ශාක වැවීම ගැන නව සොයා ගැනීමක්

(ලංකාපුවත් | කොළඹ) – අඩු වියදමකින් නිසරු බිම්වල ශාක රෝපණය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රවාහන අංශයේ සේවයේ නියුතු පී. එම්. චමින්ද මහතා සමත්වී තිබේ.

ඒ මහතා විසින් සකස් කර ඇති පැළ ඇතුළත් ප්‍රදර්ශනයක්ද පසුගියදා (30) පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් එම අමාත්‍යංශ පරිශ්‍රයේදී විවෘත කරන ලදි.

ඉවත ලද හෙල්මට්, බස් රථවල ආලෝක ලාම්පු හා වෙනත් භාජන උපයොගී කර ගනිමින් චමින්ද මහතා මෙම ශාක වගා කර තිබූ අතර ඒ සඳහා කැල්සියම් බහුල ස්වාභාවික පස් විශේෂයක්ද යොදා ගෙන තිබිණි. මෙම කැල්සියම් බහුල ස්වාභාවික පස් නිධියක් අපේ රටේ තිබෙන බවත් ඒ සම්බන්ධව තොරතුරු ඇමැතිවරයාට ලබා දීමටත් චමින්ද මහතා එකඟතාවය පළ කළේය.

රසායනික පොහොරවලට වඩා ශාක වර්ධනයට ඉවහල් කර ගත හැකි මෙම පස් ටොන් මිලියන ගණනක් එම නිධීය තුළ තිබුණද මේ පිළිබඳව මෙතෙක් කිසිඳු පර්යේෂණයක් මෙතෙක් සිදු කර නොමැති බවත් චමින්ද මහතා මෙහිදී ඇමැතිවරයාට පැවැසීය.

විශේෂයෙන් නිසරු බිම්වල මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් ලබා දීමෙන් අනතුරුව කැණීම් කළ ස්ථානවල පරිසරය විනාශ වී ඇති බැවින් චමින්ද මහතා විසින් හඳුන්වා දී තිබෙන අඩු වියදම් පැළ රෝපණ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් එම ස්ථානවල පැළ වගා කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගත යුතු යැයිද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.මේ සම්බන්ධව තමන් එම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් සමග සාකච්ඡා කර සුදුසු පියවර ගන්නා බවද ඇමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *