(ලංකාපුවත් | කොළඹ) – ජපාන රජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්ව ආ මිෂුකෝෂි හිදේකී (Mizukoshi Hideaki) මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ (16) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර අධිකරණ ක්ෂේත්රයේ සිදු කරමින් පවතින ප්‍රතිසංස්කරණ හා සංවර්ධන කටයුතු පිළිබදව ගරු අමාත්‍යතුමා විසින් තානාපතිතුමන්ව දැනුවත් කරන ලදි.
අධිකරණ අමාත්‍යතුමා අමාත්‍යාංශයේ කාර්යභාරය පැහැදිලි කරමින් සදහන් කළේ මෙරට අධිකරණ ක්ෂේත්රයේ බොහෝ අභියෝගාත්මක කටයුතු රාශියක් පවතින අතර එය ප්‍රධාන වශයෙන් අංශ තුනකට වෙන් කළ හැකි බවයි.
ඉන් පළමුවැන්න නීති ප්‍රතිසංස්කරණ අධිකරණ කටයුතු හා ඊට අදාළ යටිතල පහසුකම් සැපයීම බවත්, දෙවැන්න ලෙස ජනවර්ග අතර සාමය හා සංහිදියාව ඇති කිරීමට අදාළ වන්නාවු ආයතන මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බැවින් සාමය සංහිදියාව ජන වර්ග අතර ඇති කිරීම සදහන් කළ හැකි බවත්, තුන්වන වැදගත් අංශය වශයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා කළමණාකරණය කිරීමේ කටයුතු පෙන්වා දිය හැකි බවත් අමාත්‍යතුමා පැහැදිලි කර දෙන ලදී.
ඉදිරියේදී ජපන් රජයේ සහයෝගය අමාත්‍යාංශයේ කටයුතුවලට උපරිම ලෙස ලබාදීමට තානාපතිතුමන් සිය එකගතාවය පළ කළ අතර ඉදිරියේදීත් වරින් වර හමු වී දෙපාර්ශ්වය අතර සබඳතාවය ශක්තිමත් කළ යුතු අකාරය පිළිබදවත් මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
මෙම අවස්ථාවට ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන්, අධිකරණ අමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, සම්බන්ධිකරණ ලේකම් ෆයාඩ් බාකීර්, මාධ්‍ය ලේකම් චමිල විජේසේකර යන මහත්වරුන් එක්ව සිටියහ.