(ලංකාපුවත් | කොළඹ) – ගංගා පද්ධතිය මගින් සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් ගලා යාම වැළැක්වීම සඳහා නිශ්චිත හා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කරන්නැයි පරිසර අමාත්‍යවරයා සුරකිමු ගංගා ජාතික කමිටුවට උපදෙස් දෙයි.
සුරකිමු ගංගා වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට පත් කර ඇති ජාතික මෙහෙයුම් කමිටුව ඊයේ (28) මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී රැස්විය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජාතික මෙහෙයුම් කමිටු රැස්වීමට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරු හා නිලධාරිහු සහභාගි වී සිටියහ.
මෙම සාකච්ඡාවේ දී 2022 වසර තුළ ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා අවධානය යොමු කළ යුතු කරුණු මෙහිදී අවධානයට යොමු කර ගන්නා ලදී. ඒ අනුව කැලණි ගඟ සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දීම සඳහා රුපියල් මිලියන 200ක් වශයෙන් වැඩිම මුදලක් ලබන වසර සඳහා වෙන් කර තිබේ.
එමෙන්ම ගංගාවල රක්ෂිතය සළකුණු කිරීම යටතේ කැලණි ගඟේ රක්ෂිතය සළකුණු කිරීම ලබන වසර තුළ අවසන් කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය හා එක්ව කටයුතු කිරීමට තීරණය විය. එමෙන්ම ජල පෝෂණ ප්‍රදේශ සංරක්ෂණය සඳහා ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති අන්තර් අමාත්‍යාංශ කමිටුව යළි සක්‍රිය කිරීම, පාරිසරික පොලිසියේ සහයෝගය අවිදිමත් කුණුකසළ බැහැර කරන්නන් දැනුම්වත් කිරීම සඳහා මෙන්ම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නැවත යොදා ගැනීම වැනි කරුණු ගණානවක් මෙහිදී අවධාරණය විය.
එමෙන්ම 2025 වන විට අප රටේ වන ගහනය සියයට 30ක් දක්වා ඉහළ නැංවීමේ අභියෝගය මෙම කමිටුව හමුවේ ඇතැයි පැවසූ අමාත්‍යවරයා දැනට අපේ රටේ වන ගහනය සියයට 29.2ක් වන අතර ඉදිරි වසර තුන තුළ අඩු තරමින් වසරකට හෙක්ටෙයාර් 16,000ක් බැගින් වසර තුනක් තුළ හෙක්ටෙයාර් 65,000ක් වනගහනය සියයට 30ක් දක්වා දශම 08කින් වැඩ කිරීමට වගා කළ යුතුව ඇතැයි පැවසීය.
එමෙන්ම රටේ සංවර්ධන වැඩ කටයුතු සඳහා ද විශාල ඉඩම් ප්‍රමාණයක් යොදාගැනීමට ද අවශ්‍ය ව තිබේ. එමනිසා සංවර්ධනය හා පරිසර සුරක්ෂිතතාවය සමබරව පවත්වාගෙන යාමේ දැඩි අසීරුබව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අපේ රටේ දූෂිතම ගඟ කැලණි ගඟයි. 2022 වසරේ අපි සුරකිමු ගංගා යටතේ ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කැලණි ගඟ සංරක්ෂණයටයි. ඒ සඳහා රුපියල් මිලියන 200ක් අපි වෙන් කරනවා. කැලණි ගඟ ඉවුරු ආසන්නයේ පදිංචිව සිටින වැඩි දෙනෙක් ඔවුන්ගේ වැසිකිළිවල අපද්‍රව්‍ය ගලා යන නල පද්ධතිය පවා හරවා තිබෙන්නේ කැලණි ගඟට. මේක කොහොම කරනවාද කියළා මම දන්නේ නැහැ. කොළඹ හා ගම්පහ නාගරික ජනතාවගෙන් සියයට 85ක් පානය කරන්නේ කැලණි ගඟේ ජලයයි.
බාහිරින් පැමිණෙන මිනිස්සුත්, කැලණි ගඟ අවට මිනිස්සුත් කුණු එකතු කරළා ෂොපිං බෑග්වලට දාලා ගඟට වීසි කරනවා. ඒවා සිය ගණනින් ගඟ දිගේ පාවී ගෙන එනවා. ඒ විතරක් නොවෙයි. තවමත් කැලණි ගංඉවුරේ ඇති ඉඩම් අනවසරයෙන් අත්පත්කර ගන්නවා. ගොඩ කරනවා. මේවා වැළැක්වීමට නම් වහාම ගංගා රක්ෂිතය සළකුණු කළ යුතුයි. එහි වගකීම තිබෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටයි.
ඒ වගේම පසුගිය කාලයේ සක්‍රියව කටයුතු කළ පාරිසරික පොලිසිය කොවිඩ් වසංගත තත්ත්වයත් සමග වෙනත් රාජකාරිවලට යොමු වුනා. නමුත් දැන් පාරිසරික පොලිසියට පුළුවන් ගංගාවලට කුණු කසළ බැහැර කරන්නන් අත් අඩංගුවට ගන්න. ඒ වගේම නීතිමය පියවර ගන්න.
අතිගරු ජනාධිපතිතුමා නිතරම සුරකිමු ගංගා වැඩ සටහනේ ප්‍රගතිය ගැන විමසනවා. එතුමා මේ ගැන ලොකු බලාපොරොත්තුවකින් කටයුතු කරනවා. එමනිසා අපේ ගංගා පද්ධතිය ආරක්ෂා කර ගැනීම පරිසර අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් නොවෙයි.සියලු අමාත්‍යාංශවල සහයෝගය ඊට ලැබිය යුතුයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළේය.
ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති ජල පෝෂණ සංරක්ෂණය සඳහා පත් කර තිබෙන අන්තර් අමාත්‍යාංශ කමිටුව යළි සක්‍රිය කර ගත යුතුයි. එමගින් සුරකිමු ගංගා වැඩ සටහනට සුවිශාල දායකත්වයක් ලබා ගත හැකියි. දැනට ඉඩම් අමාත්‍යාංශය විසින් ජල පෝෂණ ප්‍රදේශ විශාල ප්‍රමාණයක් සම්බන්ධව තොරතුරු ලබා ගෙන තිබෙනවා. එම කටයුතු තවදුරටත් පුළුල් කළ යුතුයි.
එමනිසා ඉදිරියේ දී එම කමිටුව සමග සාකච්ඡා කර එමගින් සුරකිමු ගංගා වැඩ සටහන සඳහා ලබා ගත හැකි සියලු සහයෝගය ලබා ගන්නවා යැයි ද පැවසීය.
ඉඩම්, සෞඛ්‍ය, වාරිමාර්ග, මහාමාර්ග අමාත්‍යාංශ මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ද මෙහිදී අදහස් පළ කළේය.