(ලංකාපුවත් | කොළඹ) – චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ දී ප්‍රකාශ කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
චීනය හා ශ්‍රී ලංකාව අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ දී අත්සන් කරන ලද චීන – ශ්‍රී ලංකා සහල් – රබර් ගිවිසුමට වසර 71ක් සපිරීම නිමිත්තෙන් මෙම පරිත්‍යාගය සිදු කරනු ඇත.
ඊයේ(19) පරිසර අමාත්‍යාංශයේ දී සුරකිමු ගංගා වැඩ සටහන යටතේ පළාත්පාලන ආයතන සඳහා ට්‍රැක්ටර් රථ 04ක් පිරිනමමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම ට්‍රැක්ටර් රථ 04 කතරගම, අම්බලන්තොට, බදුල්ල හා තංගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කැළිකසල බැහැර කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් පරිත්‍යාග කරනු ලැබීය. මැණික් ගඟ හා වළවේ ගඟට කැලිකසල හා වෙනත් අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී ආහාර මිල ගණන් ඉහළ යාම සම්බන්ධව මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් කරුණු විමසුහ.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙවර මහ කන්නයේ දී වගා හානි සිදු වූ ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රුපියල් 25,000ක මුදලක් වගා හානි සඳහා දීමනාවක් වශයෙන් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කළ බව ද කීය.
එමෙන්ම සහල් මිල ඉහළ යාම පාලනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වශයෙන් චීන – ශ්‍රී ලංකා සහල් – රබර් ගිවිසුම යටතේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක් චීන රජය විසින් ඉදිරියේ දී සිදු කරන බවත් එමනිසා සහල් මිල පාලනය වනු ඇති බවත් සඳහන් කළේය. සහල් කිලෝවක මිල රුපියල් 300ක් වනු ඇති බවට සමහරු කිව්වත් එවැන්නක් සිදු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.