කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙයි.

දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන තිරසර ආර්ථිකයක් සඳහා වන ජනාධීපති කාර්ය සාධක බලකායට ඉදිරිපත්ව ඇති නිර්දේශ අනුව අප රටේ දැනට වගා කර ඇති කටුපොල් අදියරෙන් අදියර ගළවා ඉවත් කර එම ඉඩම්වල පරිසර හිතකාමී ශාක වර්ග වගා කිරීම සම්බන්ධ ව අදහස් ඉදිරිපත් ව ඇති බවද ඇමැතිවරයා කියයි.

ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව සම්බන්ධව පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වන අදහස් සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25) මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සමග කළ සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ හා රාජ්‍ය ආයතනයක් වන GSMB Technical Services (PVT) limited හි වසර 05ක විගණන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා සකස් කළ වාර්තා සම්බන්ධව මෙහිදි සාකච්ඡා කෙරුනු අතර ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව සම්බන්ධව ද කරුණු විමසනු ලැබීය.

එහිදී අදහස් පළ කළ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් පෙන්වා දුන්නේ ජාතික පාරිසරික පනත යටතේ කටුපොල් වගාව කළමනාකරණය සඳහා පියවර ගත නොහැකි බවයි. විශේෂයෙන් කටුපොල් වගාව නිසා භූගත ජලය සිඳී යාම, ජල මුලාශ්‍රවලට හානි සිදුවීම මෙන්ම ඇතැම් වනසතුන්ට ද එල්ල වී ඇති අහිතකර බලපෑම් සම්බ්නධයෙන් ද පරිසරවේදීන් මෙන්ම විවිධ විද්වතුන් අදහස් ඉදිරිපත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නිළදාරීන් මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් කටුපොල් ගසකට දිනකට ජලය ලීටර් 400ක් පමණ අවශ්‍ය වේයැයි හෙළිදරව් වී තිබේ. එමනිසා කටුපොල් වගාව නිසා භූගත ජලය සිඳී යාමේ තත්ත්වයක් ද ඇතැයි ද ඒම නිළධාරිහු ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

දැනට ලොව පුරා එළවළු තෙල් සඳහා වන අවශ්‍යතාවයෙන් සියයට 35ක් පමණ සපුරනු ලබන්නේ පාම් ඔයිල් හෙවත් කටුපොල් මගිනි. එළවළු තෙල් සඳහා පාම් ඔයිල් හොඳ ආදේශකයකි. එමෙන්ම පාම් ඔයිල් ටොන් එකක් සඳහා වගා වට අවශ්‍ය භූමිය අනිකුත් ඒවාට වඩා අවමය. නමුත් කටුපොල් වගා කර ඇති රටවල් ක්‍රමයෙන් ඉන් ඉවත්වන ආකාරයක් ද පිළිබිඹු වේ.ඒ අනුව දැනට කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමට ගෙන ඇති වැඩ පිළීවෙළ තවදුරටත් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම කටුපොල් වගාව හා එමගින් සිදුවන පාරිසරික හානිය පිළිබඳ විධිමත් පර්යේෂණයක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් තවදුරටත් සිදු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *