කොවිඩ් පූර්ණ එන්නත්කරණයට මාත්‍රා 03ම අනිවාර්යයි

(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණය සඳහා එන්නත් මාත්‍රා තුනම ගත යුතු බව සෞඛ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකක් ගත් පුද්ගලයන්ගේ පූර්ණ එන්නත්කරණය සඳහා කොවිඩ් මර්දන තුන්වැනි මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ගැනීම අනිවාර්ය බව ද ඇමැතිවරයා පැවසුවේය.

මාධ්‍ය ප්‍රධානීන් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡවේදී ඇමැතිවරයා මේ බව ඊයේ (24) ප්‍රකාශ කළේය.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට වසරක් පිරීම මේ මස 29 වැනිදා සිදු වන බවත් රට පුරා රෝහල් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන 1500 ක පමණ මේ එන්නත්කරණ වැඩපිළිවෙළ විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවෙන අතර එම ස්ථානයන්හි එන්නත්කරණයේ වර්ෂ පූර්ණ වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ඇමැතිවරයා කීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ප්‍රධාන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී මේ මස 29 වැනිදා පැවැත්වෙන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇතැම් පිරිස් බූස්ටර් එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් අනිසි බියක් මෙන්ම පදනම් විරහිත අනිසි ප්‍රචාර ගෙනයන බවත් ඒවයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව වෛද්‍යවරුන් පෙන්වාදෙන අතර බියකින් තොරව බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව යොමු විය යුතු බවත් ඇමැතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *