‘ආදරයට පැළයක්‘ රුක්රෝපණ වැඩසටහන මෙවරත්

(කොළඹ, ලංකාපුවත්) – පෙබරවාරි මස 14 දිනට යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනයට නව අරුතක් එකතු කරමින් ආදරයට පැළයක් තේමාව යටතේ රුක්රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

මෙම රුක්රෝපණ වැඩසටහන පරිසර අමාත්‍යාංශය, පාදුක්ක හරිත සරසවිය නැතහොත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාල මණ්ඩපය හා ශ්‍රී ලංකා සංවර්ධන පදනම ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.

පසුගිය වසරේ දී ද පරිසර අමාත්‍යාංශය විසින් ආදරවන්තයින්ගේ දිනයේ දී ආදරයට පැළයක් රුක් රෝපණ වැඩ සටහන ආරම්භ කළේය. ඒ අනුව මී පැළ 50,000ක් රෝපණය කිරීම සඳහා කටයුතු කරනු ලැබීය.මෙම වසරේ දී ද එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබා දුන් අනුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ පෙබරවාරි මස 14 දින පෙරවරු 09.00ට මෙම රුක්රෝපණ වැඩ පිළිවෙළ ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා තාක්ෂණික සරසවියේ හරිත බලකාය හා ශ්‍රී ලංකා මානව සම්පත් සංවර්ධන ආයතනය ද එක්ව පැළ රෝපණය කරන අතර ඒ අවට පදිංචි පවුල් 50කට පලතුරු පැළ බෙදා දීම ද මීට සමගාමීව සිදු කෙරේ. මීට අමතරව කැළණි ගඟට ජලය සපයන ප්‍රධාන අතුගංගාවක් වන පුස්සැලි ඔය අවට බරාව තෙත්බිම සංවේදී පරිසර කළාපයක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව ඇතුළත් පාරිසරික අධ්‍යයන වාර්තාව පරිසර අමාත්‍යවරයාට බාර දීම ද සිදු කෙරේ.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරු සහභාගි වේ. ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි රංජිත් රූබසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ සටහන සංවිධානය කිරීමට දායකත්වය දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *