(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සියලුම සතුන්ට දවසේ ඕනෑම වේලාවක බීමට අවශ්‍ය ජලය සහ සිය ආහාර රටාවට සරිලන පරිදි ආහාර සපයනු ලබන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය සදහන් කරයි.
සත්වෝද්‍යානයේ සිටින ‘සන්ජු‘ නැමැති චිම්පන්සියෙකු පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් හුවමාරු වෙමින් පවතී. එයට පිළිතුරු සපයමින් අධ්යක්ෂ ජනරාල්වරිය මේ බව සදහන් කර ඇත.
මේ පිළිබඳව ඇය සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහත පරිදි වේ.
“සන්ජු නැමැති චිම්පන්සියා පිලිබදව තබා ඇති සටහනට පසු වදනක් තැබීමට කැමැත්තෙමු. අප සත්වෝද්‍යානයේ සියලුම සතුන්ට දවසේ ඕනෑම වේලාවක බීමට අවශ්‍ය ජලය සහ සිය ආහාර රටාවට සරිලන පරිදි ආහාර සපයනු ලබයි. සන්ජුගේ අරණෙහිද මෙලෙසම ඔහුට සහ සහකාරිය මාශිට අවශ්‍ය ඕනෑම අවස්තාවක පානයට සහ නෑමට අවශ්‍ය ජලය ලබාගත හැකි ටැංකි සහ වතුර මල් සවිකර ඇත. ඒවා ක්‍රියාත්මක තත්වයේද පවති. තවද මෙම වීඩියෝවේ පසුබිම් කථනයට සවන්දීමේදී සත්ත්වයා සිතා මතා හිංසනයට ලක් කරමින් එම වීඩියෝ දර්ශනය ලබා ගත්තායයි සිතිය හැකි වදන් පෙලක් අසන්නට ලැබේ. තවද මෙම වීඩියෝව සත්ත්ව අරණෙහි ඉතා කුඩා කොටසක් පමණක් සිතමතා පෙන්වමින් හුදෙක් සත්වෝද්‍යානය පිලිබදව වැරදි මතයක් සමාජ ගත කිරීම සදහාම නිපදවූ එකක් බව පැහැදිලිය. මෙම වීඩියෝව ගැනීම සදහාම මෙලෙස සතුන් හිංසනයට ලක් කල අයවලුන්ගේ තොරතුරු ඔබ දන්නේ නම් නෛතික පියවර ගැනීම සදහා අප වෙත එම තොරතුරු ලබා දෙන ලෙස ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමු.“