දුෂ්කර පාසල්වල සිසුවියන්ට සනීපාරක්ෂක පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) – “රටකි, දැයකි, ලොවකි ඇය” 2022 කාන්තා දින ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන දුෂ්කර පාසල්වල දියණිවරුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සපුරාලීම වෙනුවෙන් වන “දියණිය” වැඩසටහනේ දෙවන අදියර මාර්තු මස 11වනදා පැවැත්වුණි.

ඒ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සුහුරුපාය පරිශ්‍රයේදී ය.

රාජ්‍ය ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි පෞද්ගලික අංශයේ අනුග්‍රාහකත්වය ඇතිව 2021 වසරේ සිට දිවයින පුරා දුෂ්කර පාසල් 300 ක දියණිවරුන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම “දියණිය” වැඩසටහන හරහා සිදුවිය. එම වැඩපිළිවෙළ තවදුරටත් වර්ධනය කරමින් 2022 වසරේ තවත් පාසල් 200ක් එකතු කරමින් සමස්ත පාසල් 500 ක දියණිවරුන් සඳහා සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම “දියණිය” වැඩසටහන හරහා සිදුවේ. ඒ අනුව එලෙස තෝරා ගත් පාසල්වල විදුහල්පතිවරුන් වෙත සංකේතාත්මකව එම ද්‍රව්‍ය පිරිනැමීම එහිදී සිදුවිය.

වෘත්තීමය ගුරුවරයෙක් වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය හා දරුවන් වෙනුවෙන් වැඩදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවත් ජාති භේදයකින් තොරව ශ්‍රී ලාංකික සෑම දරුවෙක් වෙනුවෙන්ම හා කාන්තාවක් වෙනුවෙන්ම කැපවී සේවය කිරීම තමන්ගේ හා තම අමාත්‍යංශයේ අභිප්‍රාය බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

දුෂ්කර පළාත්වල දරුවන් පාසලට නොපැමිණීමට ප්‍රධාන හේතුවක් ලෙස උදෑසන ආහාරය ලබා ගැනීමට ඇති නොහැකියාව, දැරියන්ගේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ඇති ගැටලු ආදී කරුණු බව තමන් හඳුනාගෙන ඇති බවත් එම ගැටලුවලට විසඳුම් ලෙස ගෙන යන වැඩපිළිවෙළ සඳහා සහයෝගය දැක්වීමට සත්භාවයෙන් ඉදිරිපත් වූ පෞද්ගලික ආයතන වෙත සිය හෘදයාංගම ස්තූතිය පිරිනමන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් ලබාදීම වෙනුවෙන් වන කැබිනට් පත්‍රිකාවක් ද මේ වන විටත් ඉදිරිපත් කර ඇති බව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *