(කොළඹ | ලංකාපුවත්) – දකුණු ලෙබනනයේ දී එල්ල වූ ප්‍රහාරයකින් තම අණදෙන නිලධාරියෙකුවන ‘විසාම් තාවිල්‘ මිය ගිය බව හිස්බුල්ලා සංවිධානය සදහන් කර ඇත. එම සංවිධානය පවසන්නේ මෙම ප්‍රහාරය ඊශ්‍රායලය එල්ල කළ එකක් බවයි.
විසාම් තාවිල් ගමන් කළ මෝටර් රථයට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගිනි ගැනීමකට ලක්ව තිබේ. ලෙබනන් ආරක්ෂක ආරංචි මාර්ග පැවසුවේ ප්‍රහාරයෙන් මියගිය අයගෙන් අයෙක් විසාම් තාවිල් වන අතර අනෙක් පුද්ගලයා හිස්බුල්ලා සටන්කාමියෙකු වන බවය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ විසාම් තාවිල්, හිස්බුල්ලා සංවිධානයේ රඩ්වාන් බලකායේ ඒකක නියෝජ්‍ය ප්‍රධානියාද වන බවය. රඩ්වාන් බලකාය යනු හිස්බුල්ලා සංවිධානයේ හොඳින් පුහුණු වූ සාමාජිකයන් සහිත විශේෂ බලකායක් ලෙස සැලකේ.