ශුද්ධ වූ මක්කම හා මදීනාව මෙන්ම හජ් හා උම්රා වන්දනා සෞදි අරාබියේ පාලකයන්ගේ වගකීම යටතේ පැවතීම අභිමානයකි

(කොළඹ | ලංකාපුවත්) – ශුද්ධ වූ මක්කම සහ මදීනාව ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ගේ නැමදුම් හා සම්බන්ධ ප්‍රධාන ශුද්ධ වූ ස්ථාන දෙකකි. විශේෂයෙන්, මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන වගකීම් පහේ පස්වන වගකීම වන ශුද්ධ වූ හජ් වගකීම ශුද්ධ වූ මක්කා නගරය හා සම්බන්ධ කටයුත්තකි. මෙම වගකීම ශාරීරිකව සහ මූල්‍යමය වශයෙන් හැකි සෑම මුස්ලිම්වරයෙකුම ජීවිත කාලය තුළ එක් වරක් හෝ ඉටු කළ යුතු වැදගත් මූලිකාංගයකි.

ලොව උතුම් වූ වන්දනාමාන සඳහා ඉදි කරන ලද විශාලතම දේවස්ථාන මක්කා හා මදීනා දේවස්ථාන වේ. මක්කා දේවස්ථානය වර්ග මීටර් මිලියනයක් පමණ විශාලය. මේ මහා ප්‍රතිසංවර්ධන කටයුතු සිදුවූයේ සෞදි රජය පාලනය කළ “සඌද්” රාජවංශයේ පාලන සමයේදී යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. “ශුද්ධ වූ දේවස්ථාන දෙකේ ආරක්ෂකයා” යන පදවි නාමය සෞදි අරාබියේ පාලකයන් විසින් දරනු ලබන අතර, විශේෂයෙන්ම වත්මන් සල්මාන් රජු එසේ එම පදවි නාමය දරා තිබීමත් ඔවුන් විසින් ශුද්ධ වූ සිද්ධස්ථාන දෙකට කළ අපරිමිත සේවාවන් නිසාය.

මෙම උතුම් වූ වගකීම ඉටු කළ යුතු ස්ථානය සෞදි අරාබියේ ශුද්ධ වූ මක්කා නගරයයි. සෞදි අරාබියේ ශුද්ධ වූ මක්කම හා මදීනාව පිහිටා තිබීම මහත් ආශිර්වාදයකි. මක්නිසාද යත් ලොව පුරා සිට ශුද්ධ වූ මක්කම සහ මදීනාව වෙත පැමිණෙන බැතිමතුන්ගේ පහසුකම් සඳහා සෞදි රජය සෑම ආකාරයකම කටයුතු සම්පාදනය කරන බැවිනි. විශේෂ ගුවන් ප්‍රවාහන පහසුකම්, මක්කම හා මදීනාහි අති නවීන සුඛෝපභෝගී හෝටල්, අති නවීන ප්‍රවාහන බස් රථ, මක්කම මදීනා අධි සුඛෝපභෝගී දුම්රිය සේවාවන්, මිනා, මුස්දලිෆා සහ අරෆා වැනි වන්දනා කටයුතු හා සම්බන්ධ ස්ථානවල නවීන පන්නයේ කූඩාරම් සහ මූලික පහසුකම් යනාදී සියල්ල ඉතා මැනවින් සංවිධානය කර දී ඇත.

ශුද්ධ වූ හජ් ඉටු කිරීම සඳහා සෑම වසරකම මිලියන තුනක් පමණ බැතිමතුන් මක්කාවේ එක් තැනකට රැස් වෙති. මිලියන තුනක ජනතාවක් එක තැනකට එක්රැස් කිරීම පහසු කාර්යයක් නොවේ. එකම ස්ථානයකට රැස්වී පහසුවෙන් යාඥාවන් ඉටු කළ හැකි වන්නේ සෞදි රජය මේ සියලු දෙනාටම අවශ්‍ය මූලික පහසුකම් සියල්ල මැනවින් සපයා දී ඇති බැවිනි. වන්දනාකරුවන්ට වන්දනාමාන කටයුතු ඉටු කිරීම සඳහා දවසේ පැය 24 පුරාම දොරවල් විවෘතව තබන ලෝකයේ එකම දේවස්ථානය ශුද්ධ වූ මක්කම සිද්ධස්ථානයයි.

ශුද්ධ වූ හජ් බැතිමතුන් වෙනුවෙන් සියලු කටයුතු කල්තියා සංවිධානය කිරීම සඳහා දේශීය හා විදේශීය උම්රා වන්දනාකරුවන් සීමා කර ඇත. වන්දනාකරුවන්ගේ පහසුව සඳහා පිරිසිදු කිරීමේ කම්කරුවන් දස දහස් ගණනක් නියම කර ඇති අතර පිරිසිදු කිරීමේ ඉලෙක්ට්‍රොනික වාහන පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. වැසිකිළි 15000 කට වඩා වැඩි ප්‍රමාණයක් දවසේ පැය 24 පුරාම විවෘතව තබා ඇති අතර ඉහළ ප්‍රමිතියෙන් යුත් විෂබීජ නාශක යොදා දිනකට 5 වතාවක් පිරිසිදු කෙරේ. එසේම ශීතකරන ලද “සම්සම්” ජල ටැංකි 30000 කට අධික ප්‍රමාණයක් විවිධ ස්ථානවල තබා ඇති අතර එම ජල ටැංකි විශේෂඥයින් විසින් දිනකට කිහිප වතාවක්ම පරීක්ෂා කරනු ලැබේ.

එමෙන්ම වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඔවුන්ගේ වටිනා භාණ්ඩ සුරක්ෂිතව තබා ගැනීමට දස දහස් ගණනක් උසස් තත්ත්වයේ සේප්පු බොහෝ ස්ථානවල තැන්පත් කර ඇති අතර මක්කම සහ මදීනාවේ විවෘත ප්‍රදේශවල උණුසුම නිවා, සිසිල් බව ලබා දෙන අයුරින් කිරිගරුඬ අල්වා ඇත. ලෝක භාෂා 65 කින් හජ් සහ අනෙකුත් ආගමික කටයුතු මෙන්ම කුර්ආන් අර්ථකථන සහ ජුම්ආ දේශනා පවත්වනු ලැබේ. වන්දනාකරුවන් අතර රෝගී සහ වැඩිහිටියන්ගේ ප්‍රයෝජනය සඳහා පුටු දස දහස් ගණනක් නොමිලේ බෙදා හරින අතර ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා ඉලෙක්ට්‍රොනික වාහන 500 කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇත. එසේම, සෞදි අරාබි රජය වන්දනාකරුවන් සඳහා සියලුම උසස් තත්ත්වයේ සෞඛ්‍ය පහසුකම් ද සපයා තිබේ.

මක්කාව මෙන්ම මදීනා සහ අනෙකුත් ශුද්ධ වූ ස්ථානවලට පැමිණෙන සියලුම බැතිමතුන් සඳහා ද සෞදි රජය විසින් සියලු මූලික පහසුකම් සපයා තිබේ. හරම් ෂරීෆ් හෙවත් ශුද්ධ වූ ස්ථාන දෙකේ ප්‍රතිසංවිධාන කටයුතු උමර් (රළියල්ලාහු අන්හු) තුමාගේ පාලන සමයේ සිට වත්මන් සෞදි රජයේ පාලන සමය දක්වා අදියර කිහිපයකින් සිදු වී ඇත. කෙසේ වෙතත්, සෞදි අරාබියේ පාලනය ආරම්භ කළ පළමු රජු පටන් වත්මන් පාලක සල්මාන් බින් අබ්දුල් අසීස් රජු දක්වා ඔවුන් විසින් ශුද්ධ වූ දේවස්ථාන දෙක පුළුල් කිරීම සහ වන්දනාකරුවන්ට අවශ්‍ය සියලුම මූලික පහසුකම් සහ යටිතල පහසුකම් සැපයීම මුළු ලෝකයා විසින්ම අගය කරනු ලබන්නක් වේ.

වාර්ෂිකව සෞදි රජුගේ පෞද්ගලික වියදමින් ලොව පුරා සිටින දුප්පතුන්, සරණාගතයින්, ආගමික විද්වතුන්, බුද්ධිමතුන් වැනි මිනිසුන් 5000කට පමණ නොමිලේ හජ් වන්දනාව සඳහා ශුද්ධ වූ මක්කම වෙත ගෙන්වා ගැනීම සෞදි රජය විසින් දියත් කරන විශාලතම සේවයයි.

සෞදි අරාබියේ ශක්තිමත් ඉස්ලාමීය සංස්කෘතික අමාත්‍යාංශයක් සහ ඉතා දක්ෂ අමාත්‍යවරයකු සිටියදීත් වන්දනාකරුවන්ට සේවය කිරීම සඳහා විශේෂ හජ් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා නායකත්ව මණ්ඩලයක් ද පිහිටුවා ඇත.

මේ ආකාරයට සෞදි රජය සෑම වසරකම වන්දනාකරුවන්ගේ පහසුව සඳහා නවීන ක්‍රම සොයා ගෙන වන්දනාකරුවන්ට ඉතා විශිෂ්ඨ ලෙස සේවය කරමින් සිටියි. එබැවින් සෞදි අරාබියේ පාලකයන් අතට ශුද්ධ වූ මක්කම හා මදීනාව, හජ් හා උම්රා වන්දනා හිමිවීම ලෝකවාසී මුස්ලිම් ජනතාවට අභිමානයකි.

සෑම වසරකම ශ්‍රී ලංකාවෙන් වන්දනාකරුවන් දහස් ගණනක් හජ් ඉටු කිරීම සඳහා මක්කාවට යති. මෙම වසරේ පුද්ගලයින් 3500ක් පමණ වන්දනාවේ යාමට නියමිත අතර ඔවුන් සඳහා අවශ්‍ය සියලු කටයුතු ශ්‍රී ලංකාවේ සෞදි අරාබියේ ගරු තානාපති කාලිද් හමූද් අල් කහ්තානී තුමා සහ සෞදි තානාපති කාර්යාලය විසින් සපයා තිබීමත් ගරු අමාත්‍ය විදුර වික්‍රමණායක මහතාගේ මඟ පෙන්වීම යටතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ගරු ෆයිසල් මහතා විසින් කටයුතු සංවිධානය කර තිබීමත් මෙහිදී අගය කළ යුතු කරුණකි. ශ්‍රී ලංකාවේ පළමු හජ් වන්දනාකරුවන් 2024.05.21 වන දින දෙවියන්ගේ කැමැත්ත පරිදි ශුද්ධ වූ මක්කම වෙත පිටත්ව යාමට නියමිතය.

කෙටියෙන් පවසන්නේ නම්, වන්දනාකරුවන් සිය හජ් වගකීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත පරිසරයක, පූර්ණ මානසික පසුබිමක සහ මූලික පහසුකම් සහිතව ඉටු කරනුයේ, සෞදි රජය රූ දහවල් අල්ලාහ්ගේ අමුත්තන්ගේ සුභසාධනය පමණක් අරමුණු කරගෙන බොහෝ කැපවීම් සහ සේවාවන් සිදු කරන බැවිනි. සර්වබලධාරී අල්ලාහ් සෞදි රජය හා එරටේ පාලකයින් පිළිගෙන ඔවුන්ගේ සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔවුන්ට මනා ශක්තිය හා ධෛර්යය ලබා දෙන මෙන් මම දෙවිඳුන්ගෙන් ප්‍රාර්ථනා කර සිටිමි.

මව්ලවි එම්.එච්. ෂේහුද්දීන් මදනි (BA)
අධ්‍යක්ෂක,
අල් හික්මා සුභසාධක සංගමය, කොළඹ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *