ජනතාව සහභාගී වන රජයේ ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් තහනම්

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙන නිසා උරුමය, අස්වැසුම සහ ජයගමු ශ්‍රී ලංකා වැනි මහජනතාව සෘජුව සම්බන්ධ කරගන්නා රජයේ ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් සහභාගි නොකර ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එමෙන්ම මෙම ව්‍යාපෘති මැතිවරණය ඉලක්ක කර නොගෙන සාමාන්‍ය පරිදි සිදුකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

යම් අයුරකින් මේ වැඩසටහන්වලට යම් පක්ෂයක දේශපාලනඥයන් සම්බන්ධ කරගත හොත් ඊට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගන්නා බවත්, එසේ වුවහොත් එය අදාල පකෂයේ ජනපතිවරණ අපේක්ෂකයාටද බලපෑ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

රජයේ වැඩසටහන්වලට දේශපාලනඥයන් සම්බන්ධ කරගෙන දිගින් දිගට සිදු කරගෙන යන්නේ නම්, ඒවා පාලනය කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බවද සභාපතිවරයා පැවසුවේය.

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන ලද දිනයේ සිටම විවෘත කර ඇතැයිද ඔහු කීවේය.

මෙම අවස්ථාවේ පොලිස්පතිවරයෙකු රාජකාරියේ නිරතව නොසිටියද‍ එම දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු සිදුකරගෙන යන බැවින්, මැතිවරණ කටයුතු සම්බන්ධව කටයුතු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්කර තිබෙන බවත්, ඒ අනුව‍ මැතිවරණ කොමිෂන් සභාව ඔහු සමග අදාළ රාජකාරි කටයුතු කරගෙන යන බවද සභාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *