තරුණ ප්‍රජාවගේ ගැටලු විසඳීමට ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන අපේක්ෂකයකුට “තාරුණ්‍යයට ජවය” සංවිධානයේ සහාය

(කොළඹ | ලංකාපුවත්) –  රටේ තරුණ ප්‍රජාවගේ අනාගතය සමෘද්ධිමත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් යෝජනා ඉදිරිපත් කරන හා ඒවා ක්‍රියාත්මක කළ හැකි අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන බව “තාරුණ්‍යයට ජවය” සංවිධානයේ සභාපති ප්‍රසන්න දිසානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්ය.

රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුබවාදීව ගොඩ නැංවීමට නම් ඒ සඳහා රටට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මැතිවරණ කාල සීමාව තුලදී විවිධ දේශපාලන පොරොන්දු ලබා දෙමින් තරුණ ප්‍රජාවගේ සහයෝගය ලබා ගනිමින් දේශපාලඥයින් බලයට පැමිණිමේ තත්ත්වයක් පසුගිය කාලය තුල අපිට දකින්නට ලැබුනා. එවැනි අවස්ථාවකට ඉඩ නොතබා තරුණ ප්‍රජාවගේ අනාගතය ගොඩනැංවීමට ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යව තිබෙනවා.

වත්මන් සමාජයේ පවතින අතිශය තරඟකාරිත්වය මෙන්ම විවිධත්වය හේතුකොටගෙන තරුණ තරුණියන් විවිධාකාර වූ ගැටලු වලට මුහුණ දෙමින් සිටිනවා. එය රටේ ජාතික ආර්ථිකයට මෙන්ම රටේ සංවර්ධනයට බලෑමක් එල්ල කර තිබෙනවා. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, රටේ සංවර්ධනය වේගවත් කිරීමටත් තරුණ ජවය අතිශය වැදගත් වෙනවා. තරුණ ජවය කාර්යක්ෂමව හා එලදායිව උපයෝගි කොටගැනීම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් විය යුතුයි.

අධ්‍යතන ලෝකය ඩිජිටල්කරණය වූ විශ්ව ගම්මානයක් බවට පත්ව තිබෙනවා. එයට මුහුණ දිය හැකි තරුණ ප්‍රජාවක් ගොඩනැංවීම තාරුණ්‍යයට ජවය සංවිධානයේ අරමුණයි. තරුණ ප්‍රජාවගේ අධ්‍යාපනික, වෘත්තිය පුහුණු, රැකියා හා සමාජීය ගැටලු විසදමින් ඔවුන්ගේ අනාගතය සමෘද්ධිමත් කරලීම අපගේ වගකීමක්.

අධ්‍යාපනික, වෘත්තිය පුහුණු අවස්ථා, රැකියා හා සමාජීය ගැටලු වලට මුහුණ දෙමින් සිටින තරුණ ප්‍රජාව නිවැරදි මඟ පෙන්වීම හා හැඩගැස්වීම උදෙසා ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන අපේක්ෂකයකුට සහාය ලබා දීමට කටයුතු කරන බවත් ඉදිරි දින කිහිපය තුළ එය අධ්‍යයනය කරමින් “තාරුණ්‍යයට ජවය” සංවිධානයේ සහායෝගය ලබා දෙන අපේක්ෂකයා නම් කරන බව එහි සභාපති ප්‍රසන්න දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *