ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ගැන අලුත් ආරංචියක්

(කොළඹ | ලංකාපුවත්) –  මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසුම අවසන් වීමෙන් පසුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්ථාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුයි.

ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඡන්ද විමසීම අවසන් කිරිමෙන් පසු ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ඡන්ද පෙට්ටියම කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත භාරදෙන්නේද යන්න පිළිබඳව ඇතැම් දේශපාලඥයින් සහ අපේක්ෂකයින් සැක සහිත බව ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,500යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

පසුගිය ජුලි 31වනදා සිට පෙරේදා පස්වරු 4:30 දක්වා කාලය තුළ ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3,610කි.

ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන් 3,047ක් විසඳීමට මේ වනවිට කටයුතු කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *