ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව වැඩ කරමු -අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

(කොළඹ | ලංකාපුවත්) – ජනතා සම්පත් භුක්ති විඳිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

අගමැති කර්යාලයීය නිලධාරීන් සමඟ කොළඹ, මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයේ ඊයේ (25) පැවති සාකච්ඡාවකදී අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

ජනාධිපතිවරයා පත්වුණේ තවත් එක් ජනාධිපතිවරණයකින් නොවන බවත් අප මේ මොහොතේ තේරුම්ගත යුතු බවත් අගමැතිවරිය කීවාය.

පැවති රජයකට එරෙහිව පැවති අරගලයකින් පසුව පැවැත්වූ ජනාධිපතිවරණයකදී බහුතර ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා පත්වුණු බව පැවසූ අගමැතිවරිය ජනතාව තමන්ගේ තීරණය ප්‍රකාශ කළේ පසුගිය වසරවල ලැබුණු අත්දැකීම් හා දුටු දේවල් අනුව බව ද කියා සිටියාය.

නීතිය, රාජ්‍ය සේවය, දේශපාලන අධිකාරිය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් නැතුව රටක් ගොඩ නඟන්න බැරි බවත් ඒ විශ්වාසය ඇතිවන ලෙස වැඩ කරමින් රට ඉදිරියට ගෙනයාමට සිදුවන බවත් අගමැතිවරිය පැවසුවාය.

අගමැතිවරිය වැඩිදුරටත් මෙසේ ද පැවැසුවාය.

“මෙවර පැවැත්වුණු මැතිවරණය පක්ෂවලින් මෙහෙය වූ මැතිවරණයකටත් වඩා ජනතාව විසින් මෙහෙය වූ මැතිවරණයක් කිව්වොත් නිවැරදියි.

ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු ජනතාව අමතමින් සඳහන් කළේ රටක දියුණුවට ජනතාව, පාලකයා සහ රාජ්‍ය සේවය අතර හොඳ විශ්වාසයක් තිබිය යුතු බවයි. ජනතාවට ඒ විශ්වාසය නැතිවෙලා. එය නැවත ඇතිවන ලෙස වැඩකිරීම අපේ යුතුකමක්. ජනතාව තනිවෙලා බවයි සිතන්නේ.

ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩ නැඟීම අපේ අරමුණක්. රාජ්‍ය සේවකයන් ස්වාධීනව වැඩ කරමින් ජනතා විශ්වාසය දිනාගන්න කටයුතු කරන්න.”

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා,

“රාජ්‍ය සේවකයන් ලෙස අපිට තිබෙනවා විශේෂ කාර්යභාරයක්. සමහරු හිතාගෙන හිටියේ ඔවුන් ජනතාවට වඩා ඉහළින් ඉන්න පිරිසක් කියලා. දැන් අපිට අවබෝධ කරගන්න වෙනවා අපි සැමට ඉහළින් ජනතාව සිටිනවා කියන කාරණය. පෞද්ගලිකව තමතමන්ට දේශපාලන මතයක් ඇති. ඒත් අපි හැමෝටම වගකීමක් තිබෙනවා පවතින රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ජනතාවට සේවය කිරීමට මීට වඩා කැපවෙන්න අවශ්‍යයි.”

මේ අවස්ථාවට අගමැති අතිරේක ලේකම්වරුන් වන හර්ෂ විජේවර්ධන, මහින්ද ගුණරත්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී. මාශංක එච්. ලියනගේ මහත්වරුන් ඇතුළු අගමැති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *