(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ පිහිටි තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව පැවැති අතර, එම ගොඩනැගිල්ල නිසි අයුරින් දීර්ඝ කාලයක් නඩත්තු නොකිරීම හා සංරක්ෂණය නොකිරීම හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් ගරා වැටීමේ තත්ත්වයකට පත්ව ඇත.
මේ පිළිබඳව වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකා තැපෑලට මහත් සම්පතක් වූ ද ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අතිරමණීය පාරිසරික පද්ධතියක පිහිටියා වූ ද, පෞරාණික වටිනාකම් රැසක් ද ගොනු වූ මෙම තැපැල් කාර්යාල පරිශ්‍රය යළි නඟාසිටුවා ඵලදායී කාර්යයකට යොදා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ගාල්ල කොටුව පිහිටි එම තැපැල් කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ දකුණූ පළාත් නියෝජ්‍ය තැපැල්පති ඇතුළු නිලධාරීන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද සමග පරිශ්‍රය නිරීක්ෂණය කරමින් කරුණු අධ්‍යයනය කළ අමාත්‍යවරයා පෞරාණික වටිනාකමකින් මෙන්ම ඓතිහාසික උරුමයකින් ද යුක්ත වූ ශ්‍රී ලංකා තැපෑලට අයත් ඉතා වටිනා ගොඩනැගිල්ලක් මෙලෙස ගරාවැටීමට ඉඩ දී බලා සිටීම පිළිබඳව මවිතයට පත්විය. දුටුවන්ගේ හද කම්පා වන පරිදි ගරා වැටී පවතින එම පරීශ්‍රය ඉතා පුළුල් ලෙස නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම පරීශ්‍රය ඵලදායී කාර්යයකට යොදවන්නේ නම් එය ශ්‍රී ලංකාවේ තැපෑලට සුවිශේෂි අගයක්, වටිනාකමක් පමණක් නොව සුවිශාල ආදායමක් උපයා ගැනීමට සුදුසු පරිශ්‍රයක් බව පෙන්වා දෙන ලදී.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික උරුමයන් මෙලෙස විනාශවීමට කිසිසේත් ම ඉඩ නොතැබිය යුතු බව ද අවධාරණය කළේය.
ඒ අනුව එක් පරීශ්‍රයක් පමණක් නොව දකුණූ පළාතේ ම තැපෑල ට යෝධ නවෝදයක් එක් කරමින් පෞරාණික වටිනාකමක් මෙන්ම සංචාරක ආකර්ශණය දිනාගත් මධ්‍යස්ථානයක් ලෙස එම ස්ථානය සංවර්ධනය කිරීමටත්, එපමණක් නොව මෙම කාර්යයට සමඟාමීව දකුණූ පළාත පුරා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සතුව ඇති නිවාස, සංචාරක ව්‍යාපාරයට යොදා ගත හැකි සංචාරක බංගලා ලෙස වැඩිදියුණු කර ආදායම් උත්පාදනය කරන ස්ථාන බවට පත් කිරීම සඳහාත් සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. එමෙන් ම ඓතිහාසික උරුමයන් හා සංස්කෘතිකාංග විදහා දක්වන අයුරින් ද, සංචාරක ආකර්ශණය දිනාගත හැකි ආකාරයෙන් අශ්ව කරත්ත වැනි භාවිතාවන් ගෙන් යුක්තව නගරයේ ලිපි එක්රැස් කිරීම වැනි නවාංග හඳුන්වා දීම ද, තමන්ගේ රූප සහ සංස්කෘතිකාංග ඇතුළත් කර තමාට ම අනන්‍ය වූ සමරු මුද්දර, වෙසක් සුභ පැතුම් පත් වැනි දෑ මුද්‍රණය කර ලබා ගැනීමේ පහසුකම් සැපයීම වැනි විවිධාංග රාශියක් අළුතින් හදුන්වාදීමට ද සැලසුම් සකස් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම දකුණු පළාතේ සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව ස්ථානගතව ඇති තැපැල් කාර්යාල සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථානයන් ලෙස නවීකරණය කිරීම වැනි නවාංග රැසකින් යුතුව කඩිනම් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම පිළිබඳව ද අමාත්‍යවරයා නිලධාරීන් සමග පුළුල් සාකච්ඡාවක නිරත විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙරට සංචාරක ව්‍යාපාරය දියුණූ කිරීමට මෙන්ම ශ්‍රී ලංකා තැපෑල සංවර්ධනයට මෙවන් ව්‍යාපෘති මෙන්ම ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් වන බව ද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර, දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පති ආර්. ගුණරත්න, ගාල්ල ප්‍රධාන තැපැල් ස්ථානාධිපති පි.එච්.මධුරි ප්‍රියන්ත, ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරි එස්.එස් සෙනෙවිරත්න, ගාල්ල දිසා පාලන නිලධාරී එච්.එච්.එම්.පී.එස් චන්ද්‍රානි යන මහත්ම මහත්මීන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.