ගුරු මාරු මණ්ඩලයට දේශපාලන බලපෑම් නෑ – අගමැතිනි හරිනි

(කොළඹ | ලංකාපුවත්) –  වසර ගණනාවකට පසුව දේශපාලන මැදිහත්වීමක් නැතිව මෙවර ගුරු මාරු මණ්ඩලය ස්වාධීනව කටයුතු කර ගුරු මාරු සිදු කළ බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පැවසුවාය.

ගුරු මාරු සිදු කිරීමේදී ගුරු මාරු මණ්ඩල නිසි ලෙස ක්‍රියා නොකරන විටදී පමණක් දේශපාලන මැදිහත් වීමක් විය යුතු බවත්, ගුරු මාරු මෙතරම් ප්‍රශ්නයක් වෙලා තිබෙනුයේ වෘත්තීය සමිතිවල මැදිහත්වීම නිසාම නොව දේශපාලනඥයන්ගේ ද මැදිහත් වීම නිසා බවත් අගමැතිවරිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් අගමැතිවරිය මේ බව කියා සිටියාය.

ජාතික පාසල් ඇතුළු පාසල්වල ගුරු පුරප්පාඩු මේ වර්ෂයේ දී පිරවීමට කටයුතු කරන බව ද අගමැතිවරිය පැවසුවාය.

විද්‍යා පීඨවලින් පිටවන ගුරුවරුන්ට මේ වසර තුළදී පත්වීම් ලබාදීමට පියවර ගන්නා බවත්, ගුරු මාරු සිදු කරනුයේ වෘත්තීය සමිතිවලින් නොව ගුරු මාරු මණ්ඩලයෙන් වන අතර වෘත්තීය සමිති නියෝජනයක් එහි තිබෙන බවත් අගමැතිවරිය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *