(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධන ව්‍යාපෘති දෙකක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 263 ක (රුපියල් කෝටි 3,945) මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට සෞදි අරාබියානු රජය එකඟතාව පළ කර ඇත.
ඒ සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම සෞදි අරාබියාවේ රියාද් හි දී සිදුකෙරුණු අතර සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ උපදේශක අබ්දුල්ලා අල් ෂෙඩෝකි සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහත්වරුන් ඒ සඳහා අත්සන් කළ බව සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.
මහවැලි ගඟේ වම් ඉවුර පහළ නිම්නය සංවර්ධනය කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් වන අතර වයඹ විශ්ව විද්‍යාලය සහ නාගරික සංවර්ධනය අනෙක් ව්‍යාපෘතිය වේ.
මහවැලි ගඟේ වම් ඉවුර පහළ නිම්න ව්‍යාපෘතිය යටතේ කින්නියා – කන්තලේ, ත්‍රීකුණාමලය සහ පොළොන්නරුව ප්‍රදේශවල කුඹුරු සඳහා කන්න දෙකේදීම වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ.
මේ ව්‍යාපෘති දෙක ශ්‍රී ලංකාවට ඉතාම වැදගත්වන බව පෙන්වාදෙන සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිලාභ රැසක් අත්වන බවද එ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූල්‍යාධාර ලබාදීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලට ස්තුතිය පිරිනමන බවද කියාසිටී.
ශ්‍රී ලංකාව සහ සෞදි අරාබියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉතාම ශක්තිමත්ව පවතින බවද ඒ හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සෞදි අරාබියාව දිඟු කලක සිට සහාය ලබාදී තිබෙන බවද සඳහන් කරන එම තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබාදෙමින් මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබාදී තිබෙන බවද සදහන් කරයි.