(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු මර්දනය සඳහා රජයේ රෝහල්, පෞද්ගලික රෝහල් මෙන්ම රසායනාගාර අපට සහයෝගය ලබාදෙන බවත් නමුත් ඇතැම් පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවලින් නිසි පරිදි ලේ පරීක්ෂණ වාර්තා ලැබෙන්නේ නැති නිසා එම ආයතනත් නීතියට යටත් කොට විධිමත් අයුරින් ක්‍රියා කරවීම සඳහා අමාත්‍යංශය තීරණය කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම පරීක්ෂණ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.
අරලියගහ මන්දිරයේදී ඊයේ(23) පැවැති රජයේ වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ දියමන්ති සංවත්සරය හා ඇගයීම් උළෙලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ඇත්ත වශයෙන්ම ඩෙංගු උවදුර පිළිබඳවත්, කසළ කළමනාකරණය පිළිබඳවත් අද රටේ ජනතාවගේ අවධානය යොමුවී තිබෙනවා. සුළු පිරිසක් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව විවේචනය කරන තත්ත්වයකට පත්වී තිබෙනවා. මේ ගැටළු සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ඔවුන් අපෙන් විමසනවා. එම නිසා මා කල්පනා කළා මෙම ඩෙංගු සහ කසළ කළමනාකරණය පිළිබඳව යමක් පැවසීමට.
ඩෙංගු පිළිබඳව වාර්තා පළමුවෙන් මාහට ලැබුණේ මෙම වසරේ ජනවාරි මාසයේදී ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඩෙංගු රෝගය ව්‍යාප්තවී ඇති බවයි. එම නිසා එහි පැවැත්වීමට නියමිතව තිබූ යොවුන්පුරය ත්‍රිකුණාමලයේ පවත්වනවා ද නැති නම් වෙනත් ප්‍රදේශයකට රැගෙන යනවා ද යන ගැටළුව ඇති වුණා. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයත්, ත්රීවිධ හමුදාවත් සමඟ කළ සාකච්ඡාවලදී අපට පෙනී ගියේ ඩෙංගු උවදුර ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් මැඩපැවැත්වුවහොත් යොවුන් පුරය ත්රිකුණාමලයේදීම පැවැත්විය හැකි බවයි. ඉන්පසුව අපි සෞඛ්‍ය ඇමැතිතුමා, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ, දිසා ලේකම්තුමන්ලා, ත්‍රිවිධ හමුදාව ආදී සියලු අංශ එක්කාසුවී ඒ ප්‍රදේශයේ ඩෙංගු උවදුර පාලනය කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළා. එම නිසා ගැටළුවකින් තොරව යොවුන් පුරය ත්‍රීකුණාමලයේදී පැවැත්වීමට අපට අවස්ථාව ලැබුණා.
මෙම වැඩසටහන අවසන් වුණේ මැයි මස අගභාගයේදී සහ අප්‍රේල් මාසයේ මුල් සතියේදීයි. නව ඩෙංගු මදුරු විශේෂයක් බෝවී ඇති බවත්, මීට පෙර ඩෙංගු මදුරුවන් නොසිටි ස්ථානවලද මෙවර ඩෙංගු මදුරුවන් බෝවී ඇති බවත් එහිදී මට වාර්තා වුණා. සිංහල අලුත් අවුරුද්දෙන් පසුව අප මේ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කළා. එම ගැටළුවට විසඳුම් සෙවීමට පෙර අපට තවත් ගැටළුවක් ඇති වුණා. එනම් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමයි. එයත් රටේ විශාල ගැටළුවක් බවට පත් වුණා.
කසළ කළමනාකාරිත්වයේ අවසන් විසඳුම කුමක්ද යන්න පිළිබඳව නිසියාකාරව නොසිතා කටයුතු කිරීම හේතුවෙන් එම ගැටළුව ඇති වුණා. කසළ එම ප්‍රදේශයෙන් ඉවත් කළ යුතුව තිබුණත් ඊට නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එම කසළ වෙනත් ප්‍රදේශයක භූමියකට බැහැර කරනවා ද? එසේ නැතිනම් කසළ බලශක්ති නිෂ්පාදනයට යොදා ගන්නවා ද? එසේත් නැතිනම් කසළ වෙනත් ප්‍රතිචක්‍රීකරණය මගින් වෙත් ද්‍රව්‍ය නිපදවනවා ද? ආදී මේ කිසිදු විකල්පයක් පිළිබඳව අපේ අවධානය යොමු වුණා. ඒ වෙනුවට එවකට බලධාරීන් මීතොටමුල්ල ප්‍රදේශයටම කසළ බැහැර කිරීම දිගින් දිගටම බැහැර කළා. මුල් අවදියේ එය විශාල ප්‍රශ්නයක් නොවුණත්, 1994 දී මීතොටමුල්ලට කසළ බැහැර කිරීම නතර කර බ්ලූමැන්ඩල් ප්‍රදේශයට කසළ බැහැර කිරීමට පටන් ගත්තා. නමුත් උසාවි නියෝගයක් මගින් නැවතත් එම කසළ මීතොටමුල්ල ප්‍රදේශයටම ගෙන ඒමටම කටයුතු කළා.
එය කෙටිකාලීන විසඳුමක් ලෙස ක්‍රියාත්මක කළ ද ඉන්පසුවත් ඊට විසඳුමක් ලබාදුන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, විපක්ෂ නායකවරයා ලෙසත් මා කළ සංචාරවලදී ඒ ප්‍රදේශයේ ජීවත්වීමට නොහැකි බව මට පෙනී ගියා. ඉන්පසුව මීටපෙර අප බලයට පැමිණි අවස්ථාවේදී මෙය විසඳීමට තීරණ කිහිපයක්ම ක්‍රියාත්මක කළා. ඒ අනුව කසළ බැහැර කිරීම සඳහා අප පළමුවෙන් තෝරා ගත්තේ වනසංරක්ෂණයට අයත් ඉඩමක්. නමුත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවලින් එම ඉඩම නිදහස් කිරීමට විශාල කාලයක් ගත වනවා. එමෙන්ම ඒ අවට ජනතාව එම ඉඩමට කසළ බැහැර කිරීමට එරෙහිව නඩු මඟට බැසීමේ අවධානමක් තිබුණා. එම නිසා කොළඹඅවට ඉඩම් කිහිපයකට අප අවධානය යොමු කළත්, එහිදී ද ඇතැමුන් උද්ඝෝෂණ සහ නඩු පැවැරීම් සිදු කර තිබුණා. දොම්පේ ඊට හොඳම උදාහරණයක්.
මෙම හේතූන් නිසා 2016 වන විට කසළ කළමනාකරණය කිරීමට නම් කර තිබූ කිසිදු ඉඩමක් ඒ සඳහා යොදා ගැනීමට අදාළ අමාත්‍යංශවලට නොහැකි වුණා. ඇතිවූ අධික වර්ෂාපතනයත් සමඟ මේ වසරේ මීතොටමුල්ල කුණු කන්ද නායයෑමට ලක්වී ජීවිත ගණනාවක් අහිමි වුණා. ඒ අනුව මේ වනවිට කසළ බැහැර කිරීම සඳහා තවදුරටත් මීතොටමුල්ල යොදා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ වගේම ජීවිත සහ දේපොළ හානිවූවන්ට වන්දි ගෙවීමට ද සිදු වුණා.
මේ හේතූන් නිසා ගැටළු දෙකක් පැන නැගුණා. ඉන් පළමුවැන්න ඩෙංගු මදුරුවන් ව්‍යාප්තවීමයි. දෙවැනි කාරණය කසළ කළමනාකාරීත්වයේ ගැටළු ඇතිවීමත් සමඟ මේ ප්‍රදේශය පුරා විවිධ ස්ථානවල කැළි කසළ ගොඩගැසීමයි. ඩෙංගු මර්දනයට නම් කසළ ඉවත් කළ යුතුයි. එම නිසා කසළ කළමනාකාරීත්වය මූලික ගැටළුව ලෙස සලකා ඊට විසඳුම් සෙවීමට අප කටයුතු කළා. මෙම ඩෙංගු උවදුර ව්‍යාප්ත වූයේ පැවැති රජයන් මෙම මූලික ගැටළුවට විසඳුම් සෙවීමට උත්සාහ නොකළ නිසායි.
මෙම ප්‍රශ්නයට දිගු කාලීන විසඳුමක් ලබාගැනීම සඳහා අප දැන් පුත්තලමේ ඉඩමක් සොයාගෙන තිබෙනවා. එම කසළ කළමනාකරණ අංගනය මගින් වසර ගණනාවක් යනතුරු කුණු ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා. කසළ කළමනාකරණය කොට එම ඉඩම පුරවා නැවත භාරදීමට හැකියාව තිබෙනවා. එම ඉඩම වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක්. නමුත් එම ඉඩම කසළ කළමනාකරණය සඳහා සැකසීමට වසර දෙකක කාලයක් ගත වනවා. ක්‍රොන්ක්‍රීට් අතුරා නිසිපරිදි ඒ බිම සකස් කළ යුතුව තිබෙනවා.
කසළ බැහැර කිරීම සඳහා දිගුකාලීන විසඳුමක් තිබුණත් කෙටිකාලීන විසඳුම් සොයාගත යුතුව තිබෙනවා. එදිනෙදා එකතු වෙන කසළ අප රඳවන්නේ කොතැනද? කසළ බැහැර කිරීම වළක්වාලමින් නඩු තීන්දු කිහිපයක් ද ලබාදී තිබුණා. දැන් එම ප්‍රශ්න එකින් එක විසදා තිබෙනවා. කසළ බැහැර කිරීමට බාධා කළ අයට එරෙහිව අධිකරණයට ගොස් නඩු තීන්දු ලබාගෙන තිබෙනවා. ඇතැම් ස්ථානවලට පනවා තිබූ නියෝග තහනම් කර තිබෙනවා.
මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට තහනම් නියෝගයක් තිබුණත් එම නඩුව අවසන් වූ පසුව ඒ ප්‍රශ්නයත් විසදේ යැයි අප අපේක්ෂා කරනවා. කරදියාන, දොම්පේ ස්ථානවලටත් කසළ දැනට ගෙනයාමට හැකියි. කසළ යෙදීමට ස්ථාන තිබෙන නිසා කසළ ඉවත් කිරීමේ කටයුතු නිසි පරිදි සිදු කළ යුතුව තිබෙනවා. හමුදාව, පොලිසිය, පළාත් පාලන ආයතන, බස්නාහිර පළාත් සභාව ඒ පිළිබඳව ක්‍රියාත්මක වනවා.
ඒ පසුබිම යටතේ ඩෙංගු පාලනය කිරීමේ වැඩකටයුත්ත කඩිනම් කළ යුතුයි. අපේ රෝහල් සියල්ලම ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් පවතිනවා. ඇතැම්විට ඩෙංගු රෝගීන් බිමත් නිදා ගන්නවා. බොහෝවිට රෝහල්වල ඉඩ පහසුකම් නැහැ. මෙවැනි ප්‍රශ්න ගණනාවක් ඇති වී තිබෙනවා. අලූත් ඩෙංගු වාහක මදුරුවා මැලේරියා මදුරුවා වගේ නොවෙයි. වතුර ස්වල්පයක් රැඳී ඇති ස්ථානයක පවා ඩෙංගු මදුරුවාට බෝවීමේ හැකියාව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම සියලු අංශ කෙරෙහි දැනුවත් වී ඩෙංගු මර්දනය කිරීමේ කටයුතු පිළිබඳව සොයා බලනවා. සෞඛ්‍ය ඇමැතිතුමා මේ වනවිට සෑම අංශයක්ම එකතු කරගෙන වැඩපිළිවෙල සකස් කර තිබෙනවා. පළාත් සභාව සමග එක්වී කටයුතු කරනවා. එමෙන්ම ජනාධිපතිතුමාද උපරිම සහයෝගය ලබා දෙනවා.
රජයේ රසායනාගාර මෙම ඩෙංගු මර්ධන වැඩසටහනේ දී ඉතා වැදගත් අංශයක් බව කිව යුතුයි. එමෙන්ම පෞද්ගලික රසායනාගාර සේවය ද අවශ්‍යයි. පැයක් ඇතුළත ලේ පරීක්ෂණ වාර්තා ලබා දීමේ අභියෝගයක් තිබෙනවා. ඩෙංගු පාලනය සඳහා එම සේවය අත්‍යවශයි. ඇතැම් ස්ථාන වලින් ලේ පරීක්ෂණ වාර්තා පැයකින් තබා පැය දෙකකින් වත් ලැබෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව සාකච්ජා කරමින් සිටිනවා. ඇමැතිතුමා එම පියවර ගනිමින් සිටිනවා.
ඩෙංගු පරීක්ෂණ කටයුතු සඳහා අලූත් උපකරණ ගණනාවක් මිලදී ගැනීමට අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් මේ වන විට වෙන්කර තිබෙනවා. ටෙන්ඩර් පටිපාටි නොමැතිව ඉතා ඉක්මනින් මෙම උපකරණ ශ්‍රී ලංකාවට ගෙන ඒමට උපදෙස් දී තිබෙනවා. දැන් අපේ වගකීම වන්නේ ඩෙංගු රෝගය පාලනය කොට ක්‍රමානුකඣලව මර්දනය කිරීමයි. හැමදාම ජනතාවට ඩෙංගු රෝගයෙන් පීඩාවිදින්නට ඉඩදෙන්න හැකියාවක් නැහැ. ඩෙංගු බෝවීම කසළ ප්රශ්නය නිසා තවත් උග්‍ර වුණා. ජීවිත කිහිපයක් අපට අහිමි වුණා. ඩෙංගු මර්දනයේදී අවධානය යොමු වී ඇත්තේ පැයක් ඇතුළත රසායනාගාර වාර්තා ලබාදීමයි. අමාත්‍යංශයේ ඇති බලතල ද යොදා ගෙන රටේ පවතින සාමාන්‍ය බලතල ද ප්‍රයෝජනයට ගෙන අවශ්‍ය කටයුතු කිරීමට අප අවධානය යොමු කර තිබෙනවා. අප අවධානය යොමු කළ යුත්තේ ඊට සහය නොදෙන ආයතන පිළිබඳවයි.
රජයේ රෝහල්, පෞද්ගලික රෝහල් මෙන්ම රසායනාගාර අපට සහයෝගය ලබාදෙනවා. නමුත් ඇතැම් පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවලින් නිසි පරිදි ලේ පරීක්ෂණ වාර්තා ලැබෙන්නේ නැහැ. එම ආයතනත් නීතියට යටත් කොට විධිමත් අයුරින් ක්‍රියා කරවීම සඳහා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම පරීක්ෂණ කටයුතු තමන්ගේ අතට ගැනීම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
කසළ කළමනාකරණය මෙන්ම ඩෙංගු මර්දනය කිරීම පිළිබඳව අප මූලික අවධානයත් යොමු කරනවා. පාසල් ආශ්රිත පරිසර ශුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු ද මේ දිනවල සිදු කිරීමට හැකියාව තිබෙනවා. තමන්ගේ ගෙදර ගැන තමන් බලාගත්තොත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකියි.
කසළ කළමනාකරණය කාර්යයේදී කසළ ඉවත් කරන විට වෙනත් අය පැමිණ එහි කසළ දමන බවට වාර්තාවී තිබෙනවා. බොහෝ අයට කසළ බැහැර කරන්න ස්ථානයක් නැහැ. මේ ප්‍රධාන ප්රශ්නය විසඳීම සඳහා ප්‍රශ්න ගණනාවකට විසඳුම් සෙවීමට අවශ්‍යයි. අප ගමන් කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීමටයි. ඩෙංගු ප්‍රශ්නයට මුහුණදීම සඳහා රෝහල් ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු ද මේ වනවිට සිදු වෙනවා. මෙවැනි පියවර ගෙන ඉදිරියට ගොස් අප ඩෙංගු උවදුරත් පාලනය කරමු. ඒ වෙනුවෙන් අප සෞඛ්‍ය ඇමැතිතුමාට සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා.