(කොළඹ, ලංකාපුවත්) – බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 30ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
දික්අරාව කන්ද නාය යාමේ අවදානමක් ද මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
බදුල්ල, බණ්ඩාරවෙල හා අවට ප්‍රදේශවලට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ දික්අරාව ප්‍රදේශයේ ගිලා බැසීමේ තත්ත්වය හටගෙන ඇත.
ඒ අනුව අවදානම් සහිත පවුල් බිඳුනුවැව යොවුන් සේනාංක මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ. එසේ පවුල් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ද හට ගෙන ඇත. විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය මෙන්ම අදාළ ප්‍රාදේශීය ලේකම් පැමිණ සිද්ධිය සමථයකට පත් කර තිබේ.
මේ අතර තම ගැටලුවට විසඳුම් ඉල්ලා මෙම පිරිස බදුල්ල කොළඹ මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතව සිටි. ඒ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.
තම ගැටලුවට විසඳුම් ලබාදෙන තෙක් උද්ඝෝෂණයේ නිරත වන බව එම ජනතාව සදහන් කරනු ලැබේ.
කෙසේ වෙතත් මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.